ICC වාර්ෂික සමුළුවත් ශ්‍රී ලංකාවට අහිමි වෙයි ; ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක්

අද(21) දිනයේදී පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකාවට අයි.සී.සීයෙන් පනවා ඇති වාරණය ඉවත් කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ නමුත් එය අසාර්ථක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලනයෙන් තොරව ස්වාධීන වූ පරිපාලනයක් ඇති කර ගැනීමට ඕනෑවටත් වඩා වැඩි කාල සීමාවක් ලබා දුන් නමුත් ඉන් සුභවාදී ප්‍රතිඵල ලැබී නොමැති බැවින් තවදුරටත් වාරණය පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
වර්ථමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සදහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය ඉවත් කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති මෙම වාරණය ක්‍රියාත්මක වන බවට අයි.සී.සීය පවසා ඇති බව සදහන්.
“මෙම තීරණය ගන්නා විට ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ලෝක රග්බි සම්මේලනය සහ පාපන්දු සම්මේලනය විසින් පැනවූ තහනම පිළිබදව ද එහිදී සාකච්ඡාවට ලක්වී ඇත” යනුවෙන් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් කර තිබෙනවා.
මෙම තීරණයත් සමග 2024 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සහ 2024 ජූලි මස දී මෙරටදී
පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික සමුළුව ද මෙරටට අහිමි වී තිබෙනවා.
තවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙන අරමුදල් පාලනය කිරීමට ද එම කවුන්සලය තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනය ද මෙම නිවේදනය ඔස්සේ තහවුරු කළා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් අයි.සී.සීය පිළි ගනු ලබන්නේ සාමාජිකයින්ගේ ඡන්දයෙන් පත් වූ පරිපාලනය මිස දේශපාලන මැදිහත් වීම් මගින් පත්කරන ලද අතුරු කමිටු නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සදහන් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා ඇත්තේ සිය කවුන්සලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා වශයෙන් පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා බවයි.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබෙනවා. (හඩපට පහතින්)