Ultimate magazine theme for WordPress.

ප්‍රවීන විනිසුරු Marais Erasmus හෙට සිය අවසන් ජාත්‍යන්තර තරගයට

දකුණු අප්‍රිකානු ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයෙකු වන Marais Erasmus හෙට (8) ආරම්භ වන නවසීලන්ත-ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුුරු දිවියට සමු දීමට නියමිතව සිටිනවා.

60 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 82 කදී, එක්දින තරග 124 කදී හා විස්සයි 20 තරග 43 කදී පිටියේ විනිසුුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, Erasmus  පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති කාන්තා විස්සයි 20 තරග ගණන 18 ක්.

2006 වසරේ පෙබරවාරි මාසයේ දී විනිසුරුවරයෙකු ලෙස ජාත්‍යන්තර පිටියේ රාජකාරි ඇරඹූ ඔහු ජාත්‍යන්තර තරග 131 කදී තෙවන විනිසුරුවරයා ලෙස ද කටයුතු කළා.

2011, 2015, 2019 හා 2023 වසරවලදී පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි මෙන්ම 2009, 2010, 2012, 2014, 2016, 2021 හා 2022 වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියන් හී දී ද Marais Erasmus විසින් සිය රාජකාරි කටයුතු සිදු කරනු ලැබුවා.

2010, 2012, 2014 වසරවලදී පැවැති කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියන්හී දී ද ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

එංගලන්තය හා නවසීලන්තය අතර 2019 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කුමාර් ධර්මසේන සමගින් අනෙක් අන්තයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේ ද Marais Erasmus.

Timed out ක්‍රමවේදය යටතේ පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ඇන්ජෙලෝ මැතිව්ස් දැවී ගිය අයෙකු ලෙස තහවුරු කළේ ද ඔහු වීම කැපී පෙනෙනවා.

Erasmus වසරේ විනිසුරුවරයාට හිමි වන David Shepherd සම්මානය 2016, 2017 හා 2021 වසරවලදී හිමි කර ගත්තා.

නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට මෙරට වේලාවෙන් අලුයම 3.30 ට ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගය ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.