හෙට තරගයට වෙනස්කම් කිහිපයක් ?

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට(9) සිල්හෙට් දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අවසන් විස්සයි 20 තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
* බංග්ලාදේශය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ මතීෂ පතිරණට හෙට තරගය අහිමි වී තිබෙනවා. ආබාධයට මුහුණ දීම හේතුවෙන් ඔහු දෙවැනි තරගයේ දී යොමු කළේ පන්දුවාර 3.4 ක් පමණයි.
අනතුරුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුට පළමු මට්ටමේ (Grade 1 hamstring injury) ආබාධයක් සිදුව ඇති බවයි.
ඒ අනුව තෙවැනි විස්සයි 20 තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔහුව සලකා බැලීමට නොහැකි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මතීෂ පළමු තරගයේ දී ද පාදයක ආබාධයකට ලක් වූ නමුත්, දෙවැනි තරගයට පෙර ඔහු සුදුසු ශාරිරික යෝග්‍යතාවයකින් පසු වූ බැවින් ඔහු එම තරගය සදහා ක්‍රීඩා කළා.
දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී ශ්‍රී ලංකාව දවා ගත් කඩුලු දෙකම බිද හෙලීමට සමත් වුණේ මතීෂ පතිරණයි.
කෙසේ වෙතත්, මෙම තරගාවලියේ දී ඔහුගේ පන්දු පාලනය ඉතා දුර්වල මට්ටමකයි පැවතුණේ.
මේ අතර, ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය පනවා තිබූ තරග තහනම හේතුවෙනුයි වනිදුට පළමු විස්සයි 20 තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ.
දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කළ නමුත්, හෙට තරගය සදහා වනිදු හසරංග ක්‍රීඩා කරන බැවින් බොහෝ විට ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමග අවසන් තරගය ක්‍රීඩා කරනු ඇති.
බොහෝ විට ඩිල්ෂාන් මදුෂංක හා බිනුර ප්‍රනාන්දු යන වමත් වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් හෙට තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති අතර, මතීෂ පතිරණ වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට කැදවීමට ද වැඩි ඉඩක් පවතිනවා.
හෙට තරගය සිල්හෙට් හී දී දහවල් කාලයේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් තරගය සදහා පින්නෙන් බලපෑමක් ද එල්ල වන්නේ නැහැ.
මේ අතර, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පළමු තරග දෙකේ දී ම අසාර්ථක වීම හේතුවෙන් හෙට දිනයේ දී ඔහුට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වීමට ඇතැම් විට ඉඩ පවතිනවා.
ඔහු වෙනුවට මුල්පෙල පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට කැදවීමට සංචිතයේ ඉතිරිව සිටින්නේ ධනංජය ද සිල්වා හා නිරෝෂන් දික්වැල්ල පමණයි.
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් විස්සයි 20 තරගය මෙය වන බැවින් හෙට තරගයේ දී ඇතැම් විට නිරෝෂන් දික්වැල්ලට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇති.
*මෙම පුවත මතීෂ පතිරණගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් පසුව යාවත්කාලීන කර ඇත.