Ultimate magazine theme for WordPress.

දසුන් ශානක IPL තරගාවලියට ; ගිවිසුම්ගත වූ වටිනාකම මෙන්න

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

තරගාවලියේ සංවිධායකයින් අද (4) නිවේදනය කළේ ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි.

එම කණ්ඩායම නියෝජනය කළ කේන් විලියම්සන් පළමු තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහුට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වුණා.

විලියම්සන් වෙනුවටයි දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආදේශ කර ඇත්තේ.

නිමා වූ ඉන්දීය සංචාරයේ දී 20යි 20 තරග තුනකදී දසුන් ශානක ලකුණු 124 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, 187 ක ප්‍රහාරාත්මක වේගයක් හා ඉනිමක සාමාන්‍ය 62 ක් ලෙස සටහන් කර ගනිමින්.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි දසුන් ශානක ගුජරාට් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ. මෙය දසුන් ක්‍රීඩා කරන මංගල අයි.පී.එල් තරගාවලියයි.

මේ වන විට ක්‍රියාත්මක නවසීලන්ත තරග සංචාරය අප්‍රේල් 8 වැනිදා අවසන් වීමෙන් පසුව ඔහු අයි.පී.එල් තරගාවලියට එක් වනු ඇති.

ඔහුට අමතරව භානුක රාජපක්ෂ, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරනවා.