Ultimate magazine theme for WordPress.

ශූරයින්ගේ කුසලාන අර්බුදය දිග් ගැස්සෙන ලකුණු ; පාකිස්තානයේ කොන්දේසි ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්වීමට එකග වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ කොන්දේසි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වන්නේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකිරීමට ගත් තීරණය නිසා ඉන්දියාව ක්‍රීඩා කරන තරග ඩුබායිහීදී පැවැත්වීම සදහා වන යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර, පාකිස්තානය එය කොන්දේසි සහගතව පිළිගැනීමට පියවර ගත්තා.

ඒ අනුව ඉදිරි වසර කිහිපයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන් සදහා ද දෙමුහුන් ක්‍රමවේදය යොදා ගත යුතු බවත්, එහිදී පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග වෙනත් රටකදී පැවැත්වීමට අවශ්‍ය බවත් පාකිස්තානය සදහන් කර සිටියා. “ඒකපාර්ශ්වික තීරණවලට අපි ඉඩ දෙන්නේ නැහැ, සමානාත්මතාවය මත පදනම්ව තීරණ ගත යුතුයි,” යනුවෙන් ඩුබායිහීදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මීට පෙර සදහන් කළා.

කෙසේ වෙතත්, මෙම කොන්දේසිය ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාව සදහන් කර ඇත්තේ සිය රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බැවින් එවැනි යෝජනාවක් පිළිගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

සිය රටේ පැවැත්වෙන තරගාවලියන්හි ක්‍රමවේදය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් හේතුවක් නොමැති බවත්, ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා ඉන්දියාව ආරක්ෂිත රටක් බවත් ඉන්දියාවේ මතය වී තිබෙනවා. 2025 කාන්තා එක්දින ලෝක කුසලානය, 2026 T20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාව සමග), 2029 ශූරයින්ගේ කුසලානය හා 2031 එක්දින ලෝක කුසලානය (බංග්ලාදේශය සමග) සදහා ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතයි.

පාකිස්තානයේ කොන්දේසිය ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්වීම යළිත් අර්බුදයකට ලක්වන අතර, ඉදිරියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන්ට ද මෙහි බලපෑමක් එල්ල විය හැකියි.

දෙමුහුන් ක්‍රමවේදය යටතේ තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත්, සම්පූර්ණ තරගාවලියම වෙනත් රටකදී පැවැත්වීම හෝ ඉන්දියාව නොමැතිව සමස්ත තරගාවලිය පාකිස්තානයේදීම පැවැත්වීම සම්බන්ධයෙන් ද අයි.සී.සීයේ අවධානය යොමු වනු ඇති. නමුත්, ඉන්දියාව නොමැතිව තරගාවලිය පැවැත්වීම තුළින් මූල්‍යමය වශයෙන් දැඩි හානියක් සිදු වන බැවින් එම ක්‍රමවේදය යටතේ තරගාවලිය පැවැත්වීමට ඇත්තේ ඉතා අවම ඉඩකඩක්. තරගාවලිය වෙනත් රටකදී පැවැත්වුවහොත් බොහෝ විට පාකිස්තානය තරගාවලිය වර්ජනය කිරීමට ඉඩ තිබෙනවා.

2025 ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය පෙබරවාරි හා මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමට තවමත් අයි.සී.සීය අසමත් වී තිබෙනවා. මෙවන් පසුබිමක බොහෝ විට අද හෝ හෙට දිනයේදී අයි.සී.සී රැස්වීමක් ද පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.