Ultimate magazine theme for WordPress.

“ක්‍රීඩකයින් ලංකාවට එන්න ඕනේ කියනවා” නිහඩතාව බිදිමින් SLC නිල නිවේදනයක් නිකුත් කරයි

මේ වන විට පාකිස්ථානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඉදිරිපත් කරමින් නැවත දිවයිනට පැමිණීමට ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙත අද(12) පෙරවරුවේදී කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් දැනුම් දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා  සිදු කර ඇති අතර, කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා සියලු ගැටලු පාකිස්ථාන ක්‍රිකට් ආයතනය (PCB) සහ අදාළ බලධාරීන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් නිසි පරිදි විසඳමින් සිටින බවට ඔවුන්ට සහතික වී තිබෙනවා.

ඒ අනුව SLC විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහාය කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට නියමිත පරිදි තරග සංචාරය ඉදිරියට සිදු කර ගෙන යන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත්, තරග සංචාරය ඉදිරියට සිදු කර ගෙන යාමට SLC විසින් ලබා දුන් නියෝග නොතකා, ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට තීරණය කරන්නේ නම්, සංචාරය බාධාවකින් තොරව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ආදේශක ක්‍රීඩකයින් පිටත් කර හැරීමට ද තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා කිසියම් ක්‍රීඩකයෙකු, ක්‍රීඩකයින් පිරිසක් හෝ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නැවත පැමිණියහොත්, ඔවුන්ගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අතර, PTI පුවත් සේවය වාර්තා කර ඇත්තේ බ්‍රහස්පතින්දා(13) දිනයේදී, එනම් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිත දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට තීරණය කර ඇති බවයි.

ඉස්ලාමාබාද්හීදී සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීමෙන් පසුව තම ආරක්ෂාව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමිනුයි ඔවුන් එලෙස මෙරටට පැමිණීමට තීරණය කර ඇත්තේ.

ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය පැවැත්වීම ද අවිනිශ්චිත වී ඇති බව PTI පුවත් සේවය වාර්තා කර තිබුණා.