Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය ගැන ICC අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ – අද රැස්වීමේදී වෙච්ච දේ මෙන්න

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග ඉන්දියාවේදීම පවත්වමින් ලෝක කුසලාන තරගාවලිය පෙර සැලසුම් කළ තරග කාලසටහන යටතේම පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශයේ තරග ඉන්දියාවේදී නොපවත්වා ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සිදු කර තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අයි.සී.සී රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි අයි.සී.සීය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට, මාධ්‍යවේදීන්ට, නිලධාරීන්ට හා ප්‍රේක්ෂකයින්ට ඉන්දියාවේදී කිසිදු ආරක්ෂක තර්ජනයක් නොමැති බවට තහවුරු වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණු බව අයි.සී.සීය පෙන්වා දෙනවා.

තරඟාවලියට ආසන්නව වෙනස්කම් සිදු කිරීම කළ නොහැකි බවත්, පවතින තත්වයන් යටතේ, කිසිදු විශ්වසනීය ආරක්ෂක තර්ජනයක් නොමැති බැවින් කාලසටහන වෙනස් කිරීම අනාගත ICC තරගාවලියන්හි පරිශුද්ධභාවය අනතුරේ හෙළන සහ ගෝලීය පාලක මණ්ඩලයක් ලෙස එහි මධ්‍යස්ථභාවයට හානි කරන පූර්වාදර්ශයක් විය හැකි බවත් අයි.සී.සී නිවේදනයේ සදහන්.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළ බවත්, බංග්ලාදේශ කණ්ඩායමට ආරක්ෂක ගැටලුවක් නොමැති බව තහවුරු කළ බවත් අයි.සී.සීය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේ අතර, ඉන්දියාවට පැමිණෙන්නේද යන්න තීරණය කිරීම සදහා තවත් දිනයක කාලයක් බංග්ලාදේශයට ලබා දීමට අයි.සී.සීය තීරණය කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔවුන් තවදුරටත් සිය ස්ථාවරයේම පසුවෙමින් ඉන්දියාවට නොපැමිණීමට තීරණය කළහොත් බංග්ලාදේශය වෙනුවට අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ස්කොට්ලන්තය තරගාවලියට ආදේශ කිරීමට ද අයි.සී.සී රැස්වීමේදී අද තීරණය කර ඇති බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

බංග්ලාදේශය වෙනුවට ආදේශක රටක් තරගාවලියට ඇතුළත් කිරීම සදහා රැස්වීමට පැමිණි බහුතරයක් අධ්‍යක්ෂවරු එකගතාවය පල කර ඇති අතර, පාකිස්තානය පමණක් බංග්ලාදේශයට පක්ෂව සිය මතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රැස්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ද එක්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා අයි.සී.සී නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී බංග්ලාදේශය ඉල්ලා තිබුණේ සිය කණ්ඩායමට ඔවුන්ගේ සියලුම තරග ඉන්දියාවේදී ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කරන ලෙසයි.

ඒ අනුව ‘C’ කාණ්ඩයේ රැදී සිටින බංග්ලාදේශය, ‘B’ කාණ්ඩයට (ශ්‍රී ලංකාව ද රැදී සිටින්නේ එම කාණ්ඩයේයි) ඇතුළත් කරන ලෙසත්, ‘B’ කාණ්ඩයේ රැදී සිටින අයර්ලන්තය ඉන් ඉවත් කර ඔවුන්ව ‘C’ කාණ්ඩයට ආදේශ කරන ලෙසත් බංග්ලාදේශය ඉල්ලා තිබුණා.