Women’s T20 World Cup : නවසීලන්තය තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
Match Report

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(18) සමත් වුණා.
ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කොදෙව් ක්රීඩිකාවන් පරදා ලකුණු අටක තියුණු ජයක් වාර්තා කරමින්.
නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 2009 හා 2010 වසරවලදී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව ඔවුන් පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූවේ වසර 14 කට පසුව වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, නවසීලන්තය හෝ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්රතිවාදීන් වන දකුණු අප්රිකාව මෙතෙක් පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලානයක් ජය ගෙන නැහැ. ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී මෙතෙක් ලෝක ශූරතාවය දිනා නොමැති රටක් විසින් ලෝක ශූරතාවය හිමි කර ගැනීමට නියමිතයි.
අද සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව්වන්ට කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 120 ක් පමණයි.