Ultimate magazine theme for WordPress.

Watch : පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කරමින් නේපාලයේ දිපේන්ද්‍ර යළිත් ඉතිහාසගත වෙයි

‍නේපාල පිතිකරු Dipendra Singh Airee ජාත්‍යන්තර විස්සයි 20 තරගයක එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කළ ඉතිහාසයේ තෙවැනි පිතිකරු ලෙස අද(13) වාර්තා අතරට එක් වුණා.

ඒ, ආසියානු ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන ප්‍රිමියර් කුසලාන තරගාවලිය (ACC Men’s Premier Cup) යටතේ කටාරය සමග ඔමානයේ දී අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ දී යි.

කටාර් වේග පන්දු යවන ක්‍රීඩක Kamran Khan එරෙහිව නේපාල ඉනිමේ අවසන් පන්දුවාරයටයි Dipendra Singh විසින් මෙලෙස හයේ පහර හයක් එල්ල කිරීමට සමත් වුණේ.

මීට පෙර එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ්ට එරෙහිව ඉන්දියාවේ යුවරාජ් සිං ද, ශ්‍රී ලංකාවේ අකිල ධනංජයට එරෙහිව කොදෙව් දූපත්හි කයිරන් පොලාඩ් ද ජාත්‍යන්තර විස්සයි 20 පිටියේ දී මෙම දක්ෂතාවය දක්වා තිබෙනවා.

එමෙන්ම Dipendra Singh ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කළ ලොව පස්වැනි ක්‍රීඩකයා ද වනවා.

අද තරගයේ දී ඔහු පන්දු 21 කින් හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 ක්.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ද Dipendra Singh Airee නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණේ ජාත්‍යන්තර විස්සයි 20 තරගයක දී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්. ඔහු පන්දු 9කින් මොන්ගෝලියාවට එරෙහිව එම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

Leave a comment