Ultimate magazine theme for WordPress.

IPL 2025 ආරම්භක දිනයේ වෙනසක්

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 21 වැනිදා කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 වැනිදා එම ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතව ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩිවය වාර්තා කළේ.

කණ්ඩායම් 10 වෙත යොමු කළ ඊ මේල් පණිවිඩයක් මගින් ඉදිරි වසර තුනට අදාළ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන දින පසුගිය නොවැම්බර් මාසයේදී තරගාවලියේ සංවිධායකයින් විසින් අනාවරණය කර තිබුණා.

ඒ අනුව 2025 අයි.පී.එල් තරගාවලිය මාර්තු 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වෙන බවට සදහන් කර තිබූ නමුත්, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය මාර්තු 9 වැනිදාට යෙදී ඇති බැවින් එම තරගාවලිය හා අයි.පී.එල් තරගාවලිය අතර පරතරය සති දෙකක් දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙලෙස IPL තරගාවලියේ ආරම්භය කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අයි.පී.එල් සංවිධායකයින් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, මෙම මාසය අවසානයේදී අයි.පී.එල් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමට ඉඩ පවතිනවා.

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු දෙවැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව ද සදහන්.