Ultimate magazine theme for WordPress.

IPL ක්‍රීඩක වෙන්දේසියට සියල්ල සූදානම් ; ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

කොහෙද? කීයටද?

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (24) හා හෙට (25) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞදි අරාබියේ Jeddah හීදී (Abady Al Johar Arena) පැවැත්වීමට නියමිත වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට ආරම්භ වීමට නියමිතයි. දිවා ආහාරය සදහා වෙන්දේසියේ වැඩකටයුතු පස්වරු 5:00 ට නතර කිරීමට නියමිතව තිබෙනවා.

දිවා ආහාරයෙන් පසුව වෙන්දේසිය යළි ආරම්භ වන්නේ පස්වරු 5:45 ටයි. රාත්‍රී 10:30 දක්වා ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

සජීවී විකාශය

ක්‍රීඩක වෙන්දේසිය Star Sports මාධ්‍ය ජාලය හරහා සජීවීව විකාශය කිරීමට නියමිතව තිබෙනවා.

ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින්

ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී සිටි නමුත්, වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ක්‍රීඩකයින් 577 දෙනෙකු පමණයි. ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් 367 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 210 දෙනෙකු ඇතුළත්.

තරගාවලියේ සංවිධායකයින් පළමුව නිවේදනය කර තිබුණේ ක්‍රීඩකයින් 574 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන බවයි. පසුව එම ලැයිස්තුවට එංගලන්තයේ ජොෆ්ර ආචර්, ඇමෙරිකා එක්සත් ජනපදයේ Saurabh Netravalkar හා ඉන්දියාවේ Hardik Tamore ඇතුළත් කෙරුණා.

වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

ඉදිරිපත් කෙරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 29 දෙනෙකු ද වෙන්දේසියට ලියාපදිංචි වී සිටියා. නමුත්, වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු පමණක් ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉහළම මූලික වටිනාකමක් වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව හා ඔවුන්ගේ මූලික වටිනාකම් –

ඉන්දීය රුපියල් කෝටි දෙක යටතේ – වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ

රුපියල් ලක්ෂ 75 යටතේ – විජයකාන්ත් වියස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මදුෂංක, දුෂාන් හේමන්ත, දසුන් ශානක, ලහිරු කුමාර

රුපියල් ලක්ෂ 30 යටතේ – ඒෂාන් මාලිංග, දුමිදු සෙව්මින

රදවා ගත් ක්‍රීඩකයින් 

ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් ඔක්තෝබර් 31 වැනිදා සියලු කණ්ඩායම් විසින් නිවේදනය කළා. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු සංචිතයේ රදවා ගැනීමට අවසර ලබා දී තිබූ අතර, රදවා ගන්නා ක්‍රීඩකයින්ට හා වෙන්දේසියේදී මිලදී ගන්නා ක්‍රීඩකයින්ට එක් කණ්ඩායමට වියදම් කළ හැකි සමස්ත මුදල ඉන්දීය රුපියල් කෝටි 120 ක්.

මෙවර අඩුම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් රදවා ගැනීමට පියවර ගෙන ඇත්තේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි. ඔවුන් ශශාන්ක් සිං හා ප්‍රබ්සිම්රන් සිං සංචිතයේ රදවා ගෙන ඇති අතර, සෙසු සියලු ක්‍රීඩකයින් නිදහස් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

සංචිතයක රදවා ගන්නා හෝ RTM ක්‍රමවේදය ඔස්සේ වෙන්දේසියේ දී මිලදී ගන්නා ක්‍රීඩකයින් අතර අවම වශයෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එක් ඉන්දීය ක්‍රීඩකයෙකු සිටිය යුතුයි. උපරිම වශයෙන් සිටිය හැකි ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයින් ගණන දෙකක්.

වෙන්දේසියේ දී වියදම් කිරීමට කණ්ඩායම් 10 සදහා ඉතිරිව ඇති මුදල් –

Mumbai Indians – INR 45 crore
Sunrisers Hyderabad – INR 45 crore
Chennai Super Kings – INR 55 crore
Royal Challengers Bengaluru – INR 83 crore
Delhi Capitals – INR 73 crore
Kolkata Knight Riders – INR 51 crore
Rajasthan Royals – INR 41 crore
Gujarat Titans – INR 69 crore
Lucknow Super Giants – INR 69 crore
Punjab Kings – INR 110.5 crore