IPL කණ්ඩායම් රදවා ගන්නා ක්‍රීඩකයින් කවුද? පතිරණට වෙන්නේ මොකක්ද? cricinfo හෙළි කරයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව ඉදිරිපත් කිරීම සදහා ලබා දී ඇති කාලය හෙට(31) පස්වරු 5:00 ට අවසන් වනවා.
වෙන්දේසියට පෙර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 6 දෙනෙකු සිය සංචිතයේ රදවා ගත හැකි අතර, එම ක්‍රීඩකයින් අතරට අවම වශයෙන් මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති (uncapped) එක් ඉන්දීය ක්‍රීඩකයෙකු (උපරිමය ක්‍රීඩකයින් දෙදෙනෙක්) ද ඇතුළත් විය යුතුයි. රදවා ගන්නා සෙසු ක්‍රීඩකයින් ඉන්දීය හෝ විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත හැකියි.
මෙම ක්‍රීඩකයින් හය දෙනා සෘජුවම රදවා ගනිමින් හෝ RTM (Right to Match) ක්‍රමවේදය එනම්, සිය සංචිතයේ පසුගිය වසරේ දී රැදී සිටි ක්‍රීඩකයෙකුට වෙන්දේසියේ දී වෙනත් කණ්ඩායමකින් හිමි වන ඉහළම ලංසු මුදල ගෙවා යළි තම කණ්ඩායමට මිලදී ගැනීමට ලැබෙන ක්‍රමවේදය යටතේ ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයේ රදවා ගතහොත් ඔවුන්ට හිමිවන RTM අවස්ථා ගණන දෙකක්.
සංචිතයේ රදවා ගන්නා පළමු ක්‍රීඩකයින් තිදෙනා සදහා – ඉන්දීය රුපියල් කෝටි 18, කෝටි 14 හා කෝටි 11 ක් වශයෙන් ද, ඉතිරි රදවා ගැනීම් දෙක සදහා – කෝටි 18 ක් හා කෝටි 14 ක් වශයෙන් ද අවම වශයෙන් වෙන් කිරීමට මෙවර කණ්ඩායම්වලට සිදු වනවා. ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයෙකු වෙනුවෙන් ද රුපියල් කෝටි 4 ක මුදලක් වෙන් කිරීමට කණ්ඩායම් හිමිකරුවන්ට සිදු වනවා.
මෙවර වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් කුමන ක්‍රීඩකයින් සංචිතයේ රදවා ගැනීමට පියවර ගනීවිද? ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් මේ වන විට අනාවරණය කර ඇති අතර, මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ඒ සම්බන්ධවයි.
Chennai Super Kings (CSK)
- මහේන්ද්‍ර සිං දෝනි
- රුටුරාජ් ගයික්වඩ් (නායක)
- රවීන්ද්‍ර ජඩේජා
- ශිවම් ඩූබේ
- මතීෂ පතිරණ
ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට මෙවර ඉන්දීය රුපියල් කෝටි 120 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 418) මුදලක් වියදම් කළ හැකියි.
චෙන්නායි කණ්ඩායම ක්‍රීඩකයින් 5 දෙනෙකු සංචිතයේ රදවා ගැනීමට සූදානමින් සිටින බවත්, ඔවුන් වෙනුවෙන් අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 65 ක මුදලක් වෙන් කිරීමට සිදු වනු ඇති බවත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, එක් එක් ක්‍රීඩකයාට හිමිවන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නැහැ.
Kolkata Knight Riders (KKR)
- සුනිල් නරායන්
- රින්කු සිං
- හර්ෂිත් රානා (uncapped)
- වරුන් චක්‍රවර්තී
ඇතැම් විට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති රමන්දීප් සිං ද කොල්කටා කණ්ඩායම සිය සංචිතයේ රදවා ගැනීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, කොල්කටා කණ්ඩායමට පසුගිය වසරේ දී අයි.පී.එල් ශූරතාවය දිනා දුන් නායකයා වන ෂ්රෙයස් අයියර් එළඹෙන තරගාවලිය වෙනුවෙන් ඔවුන් සිය සංචිතයේ රදවා නොගනු ඇති බව සදහන්. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල් ද මෙවර KKR කණ්ඩායම විසින් නිදහස් කරනු ඇති.
පසුගිය වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 24.75 ක මුදලකට කණ්ඩායමට මිලදී ගත් මිචෙල් ස්ටක් ද කොල්කටා කණ්ඩායම සංචිතයේ රදවා නොගැනීමට ඉඩ තිබෙනවා.
ක්‍රීඩකයින් රදවා ගැනීම සදහා ඉන්දීය රුපියල් කෝටි 47 ක් හෝ 51 ක් පමණ කොල්කටා කණ්ඩායමට වැය වනු ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
Lucknow Super Giants (LSG)
- නිකලස් පූරාන්
- මයාන්ක් යාදව්
- රවී බිෂ්නෝයි
- මොහ්සින් ඛාන් (uncapped)
- අයුෂ් බදෝනි (uncapped)
2022 වසරේ දී ලක්නව් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියට පිවිසීමෙන් පසුව මෙතෙක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කේ එල් රාහුල් එළඹෙන තරග වාරය වෙනුවෙන් කණ්ඩායමේ රදවා නොගනු ඇති බව සදහන්.
මෙම ක්‍රීඩකයින් රදවා ගැනීම සදහා ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදලක් වැය කිරීමට ලක්නව් කණ්ඩායමට සිදු වනු ඇති.
Sunrisers Hyderabad (SRH)
- හෙන්රික් ක්ලාසන් (ඉන්දීය රුපියල් කෝටි 23)
- නායක පැට් කමින්ස් (කෝටි 18)
- අභිෂේක් ෂර්මා (කෝටි 14)
- ට්‍රැවිස් හෙඩ්
- නිටිෂ් කුමාර් රෙදී
මෙම ක්‍රීඩකයින් රදවා ගැනීම වෙනුවෙන් සන්රයිසස් පිලට ඉන්දීය රුපියල් කෝටි 75 ක මුදලක් වෙන් කිරීමට සිදු වනවා.
Rajasthan Royals (RR)
- සන්ජු සැම්සන් (නායක)
- යශස්වි ජයිස්වාල්
- රියාන් පරාග්
- සන්දීප් ෂර්මා
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජොස් බට්ලර් හා යුස්වේන්ද්‍ර චෙහල් රදවා ගත් ක්‍රීඩකයින් අතරට අයත් නොවන බවයි.
Gujarat Titans (GT)
- ෂුබ්මන් ගිල් (නායක)
- රෂීඩ් ඛාන්
- සායි සුදර්සන්
- රාහුල් තෙවාටියා
- ශාරුක් ඛාන්
ක්‍රීඩකයින් 5 දෙනෙකු ඔවුන් රදවා ගැනීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා. ඒ අනුව ඔවුන්ට වෙන්දේසියේ දී භාවිතා කිරීමට ඉතිරි වන්නේ එක් RTM අවස්ථාවක් පමණයි.