BPL ගෙවීම් අර්බුදය දිග් ගැස්සෙයි – ලහිරු ඇතුළු රාජ්ශාහී විදෙස් ක්‍රීඩකයින් තරග වර්ජනය කරයි

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමට Durbar Rajshahi කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් කටයුතු කර තිබෙනවා. ඉරිදා(26) මීර්පූර්හි පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Rangpur Riders කණ්ඩායමයි.
ඒ අනුව මෙම තරගය සදහා Rajshahi කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදු වූයේ දේශීය ක්‍රීඩකයින් 11 දෙනෙකු සමගයි. ක්‍රීඩකයින්ට ලබා දිය යුතු ගෙවීම් නිසි වේලාවට ලබා නොදීමට විරෝධය පල කිරීමක් ලෙස එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් මෙම පියවර ගෙන තිබුණා.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේදී කණ්ඩායමක් කිසිදු විදෙස් ක්‍රීඩකයෙකු නොමැතිව තරගයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි.
කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී නිවේදක Danny Morrison විසින් කණ්ඩායමේ වෙනස්කම් පිළිබද විමසා සිටි අවස්ථාවේදී නායක ටස්කින් අහ්මඩ් සදහන් කළේ “අපිට වෙනස්කම් කිහිපයක් තියෙනවා. හතරක් හෝ පහක්. මොකද අද විදේශිකයන් නැහැ. අද සියලුම දේශීය ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා,” යනුවෙනුයි.
BPL නීති ප්‍රකාරව කණ්ඩායමකට එක් තරගයක් සදහා අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කළ යුතු අතර, ක්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 4 ක්.
නිල නිවේදනය
කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ මෙම තරගය වෙනුවෙන් දේශිය ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කිරීම සදහා තරගාවලියේ තාක්ෂණික කමිටුව විසින් Rajshahi කණ්ඩායමට අවසර ලබා දී ඇති බවයි.
“විදේශීය ක්‍රීඩකයින් නොමැති වීම හේතුවෙන්, Rangpur Riders කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගය සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට විශේෂ අනුමැතියක් ඉල්ලා Durbar Rajshahi කණ්ඩායම BPL තාක්ෂණික කමිටුවට අයදුම් කර ඇත.” යනුවෙන් BCB කියා සිටියා.
“ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව සහ BPL 2024-25 තරඟ කොන්දේසිවල 1.2.8 වගන්තියේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව මෙම තරගය සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට තාක්ෂණික කමිටුව Durbar Rajshahi කණ්ඩායමට අනුමැතිය ලබා දී ඇත.”
ගෙවීම් සිදු කර ඇති අයුරු
වාර්තාවන ආකාරයට Rajshahi කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින්ට මේ දක්වා ගෙවා ඇත්තේ සම්පූර්ණ මුදලෙන් 1/4 ක මුදලක් පමණයි.
BCB නීතිවලට අනුව තරගාවලිය ක්‍රියාත්මක වන අතරවාරයේදී ක්‍රීඩකයින්ට වැටුපෙන් 75% ක කොටසක් ගෙවා අවසන් කළ යුතුයි. තරගාවලිය ආරම්භ වීමට පෙර ගෙවිය යුතු වූ මුදල 50% ක්.
මීට සති දෙකකට පමණ පෙර ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු වර්ජනය කරමින් ගෙවීම් ලබා නොදීමට එරෙහිව විරෝධය පල කරන තුරු දේශීය ක්‍රීඩකයින්ට කිසිදු මුදලක් ගෙවීමට ද එම කණ්ඩායම විසින් පියවර ගෙන තිබුණේ නැහැ.
Rajshahi සංචිතයට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලහිරු සමරකෝන් ද ඇතුළත් අතර, සෙසු විදෙස් ක්‍රීඩකයින් වන්නේ Ryan Burl, Mohammad Haris, Mark Deyal, Miguel Cummins හා Aftab Alam.
හිමිකරුට තවත් ප්‍රශ්නයක්
මේ අතර, Rajshahi කණ්ඩායමේ හිමිකරු Shafiq Rahman ට Chattogram නුවර කණ්ඩායම රැදී සිටි හෝටලයේ බිල නියමිත වේලාවට ගෙවීමට ද නොහැකි වී තිබූ බව වාර්තා වනවා.
ඔහුගේ හෝටල් කාමරයෙන් පිටත ආරක්ෂක නිලධාරියෙකු ස්ථානගත කර තිබූ ආකාරයක් මෙන්ම ඔහු භාවිතා කළ මෝටර් රථයක් බලධාරීන්ගේ භාරයට ගත් බවටත් මාධ්‍ය වාර්තා පලව තිබෙනවා.
මීර්පූර්හීදී ඊයේ පැවැති තරගය සදහා එක්නොවූ විදෙස් ක්‍රීඩකයින් සියලු දෙනා ඩකා නුවර හෝටලයේ රැදී සිටි බව සදහන්.
මෙම තරගය සදහා විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ක්‍රීඩා කළ පසුබිමක වුවද තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලැබීමට Durbar Rajshahi කණ්ඩායම සමත් වුණා.
Rangpur Riders කණ්ඩායම මෙවර තරග වාරයේදී තමන් ක්‍රීඩා කළ පළමු තරග අටම ජය ගෙන තිබූ නමුත්, ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වුණා. එම තරග දෙකම ඔවුන් අඛන්ඩව පරාජයට පත් වූයේ Rajshahi කණ්ඩායම හමුවේ වීම විශේෂත්වයක්.