Ultimate magazine theme for WordPress.

11 ක් මිය යාමට RCB වගකිව යුතුයි, කෝලිගේ වීඩියෝවත් ප්‍රබල හේතුවක් – එළියට ආ වාර්තාව මෙන්න

ජුනි 4 වනදා එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයෙන් පිටත සිදු වූ තෙරපීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය යාම සහ 50 කට අධික පිරිසකට තුවාල සිදුවීම සම්බන්ධයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කළමනාකාරීත්වය වගකිව යුතු බවට කර්ණාටක රජය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිදු වීමට අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස කර්ණාටක මහාධිකරණය දින දෙකකට පෙර නියෝග කළ අතර, අද (ජූලි 17) දිනයේදී එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කළා.

වාර්තාවේ දැක්වෙන්නේ, RCB හි වැඩසටහන් හවුල්කරු වන DNA Networks සහ කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) ද නිසි අවසරයකින් තොරව මෙම උත්සව අවස්ථාව සංවිධාන කිරීම වෙනුවෙන් වගකිව යුතු බවයි.

තවද, මෙම උත්සවය පොලිසිය ප්‍රතික්ෂේප කළ ද RCB විසින් පෙළපාලිය සිදු කළ බවට ද එහි සඳහන්ව තිබෙනවා.

“සංවිධායකයින්ගෙන් විධිමත් අවසර ඉල්ලීමක් නොතිබූ අතර, අවශ්‍ය තොරතුරු සහ විස්තර ලබා දී නොතිබුණි. ඒ හේතුවෙන් අවසර ඉල්ලීම සලකා බැලිය නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025.06.03 දින ඉදිරිපත් වූ ලිපියට අවසර ලබා නොදෙන ලදී,” යනුවෙන් වාර්තාවේ සඳහන්ව තිබෙනව.

වාර්තාවට අනුව, “KSCA ප්‍රධාන විධායක නිලධාරී සුබෙන්දු ගෝෂ් ජුනි 3 වන දින සවස Cubbon Park පොලිසියට දැනුම් දී ඇත්තේ RCB කණ්ඩායම IPL අවසන් තරගය ජයගතහොත් පෙළපාලියක් සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම සහ කෙටි දැනුම් දීමක් හේතුවෙන් පොලිසිය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේ තිබියදීත්, ක්‍රීඩාංගණය දක්වා ජයග්‍රාහී පෙළපාලියකට එක්වන ලෙස රසිකයින්ගෙන් ඉල්ලා සිටිමින් RCB විසින් ජුනි 4 වන දින පෙ.ව. 7:01 ට සමාජ මාධ්‍ය ඔස්සේ ආරාධනාවක් සිදු කළා.

ව්‍යවස්ථාපිත නීතිරීතිවලට අනුව, එවැනි පෙළපාලියක් සඳහා අයදුම්පතක් උත්සවය පැවැත්වෙන දිනය හැර අවම වශයෙන් දින හතකට පෙර ඉදිරිපත් කළ යුතුයි. නමුත් RCB විසින් 2025 IPL ශූරතාව ජුනි 3 වන දින දිනා ගැනීමෙන් පසුව මෙම සැමරුම සැලසුම් කර ඇති බව අධිකරණය නිරීක්ෂණය කර තිබෙනවා.

විරාත් කෝලි රසිකයින්ගෙන් සැමරුමට එක්වන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වූ අතර, එය සිතාගත නොහැකි තරම් විශාල සෙනඟක් එක්රැස් වීමට හේතු වූ බවට වාර්තාවේ සඳහන්.

වාර්තාවට අනුව, “මෙය 3,00,000 කට අධික පුද්ගලයින්ගේ අති විශාල මහජන රැස්වීමකට තුඩු දුන්නේය.”

“2025.06.04 දින, දළ වශයෙන් ප.ව. 3 ට පමණ, චින්නස්වාමි ක්‍රීඩාංගණය අවට සීමිත ප්‍රදේශයක හදිසි ජනකායක් එක්රැස් විය. ක්‍රීඩාංගණයේ 35,000 ක ධාරිතාවට වඩා වැඩි, 3,00,000 ක් පමණ පුද්ගලයන් මෙම සීමිත අවකාශයේ එක්රැස් විය. උත්සවයට ඇතුළුවීම සියල්ලන්ටම නොමිලේ බව RCB/සංවිධායකයින් ඔවුන්ගේ නිල පිටුවල ප්‍රකාශ කිරීම නිසා එවැනි සෙනඟක් ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අසල රැස් විය.”

“කෙසේ වෙතත්, ප.ව. 3.14 ට පමණ, RCB/DNA/සංවිධායකයින් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළමු වරට සහ ප්‍රමාද වී ප්‍රකාශයක් පළ කළේ, ක්‍රීඩාංගණයට ඇතුළු වීමට සීමිත අවසර පත්‍ර අවශ්‍ය බවය. එමඟින් දැනටමත් ක්‍රීඩාංගණය අසළට රැස්ව සිටි සහ මහත් උද්දීපනයෙන් සිටි මහජනතාව අතර ව්‍යාකූලත්වය, කලකිරීම සහ අවුල් සහගත තත්ත්වයක් ඇති විය.”

මෙම සිදුවීමට පැය කිහිපයකට පෙර සෙනඟ පාලනය කිරීම පොලිසියට භාර දී ඇති බවත්, ගේට්ටු 1, 2 සහ 21 ඇතුළු ගේට්ටු කිහිපයක දැඩි තදබදයක් සහ ආරක්ෂක බිඳවැටීම් සිදු වූ බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

මේ අතර, IPS නිලධාරී විකාෂ් කුමාර් ඇතුළු තවත් සිව් දෙනෙකුගේ අත්හිටුවීම අවලංගු කළ මධ්‍යම පරිපාලන විනිශ්චය සභාවේ නියෝගයට එරෙහිව රාජ්‍ය රජය අභියෝග කර ඇති අතර, නිලධාරීන් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ බවට තර්ක කරයි. “නිලධාරියා කුමක් කරමින් සිටියේද? ඔහු කිසියම් ක්‍රියාමාර්ගයක් ගත්තේද? පොලිස් පනත යටතේ තහනම් නියෝග නිකුත් කරනවා වෙනුවට, ඔවුන් සැමරුම සඳහා බන්දොබස්ට් කටයුතු කරගෙන ගියා,” යනුවෙන් වාර්තාවේ සඳහන් විය.

මීට අදාළ විමර්ශන අවසන් අදියරේ පවතින අතර, RCB සහ DNA Networks හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ ප්‍රකාශ ලබා දී තිබෙනවා. අවසන් තීන්දුව සඳහා නිල කාලසීමාවක් මෙතෙක් නියම කර නොමැති බවයි වාර්තා වන්නේ.