Ultimate magazine theme for WordPress.

සිරාජ්ට වැඩ වරදියි ; ICC නිවේදනය මෙන්න

ලෝඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය විනය විරෝධී බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඉන්දියානු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ට දඩුවම් පනවා තිබෙනවා.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර ඇති අතර, දඬුවම් ලකුණක් (demerit point) ද පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය ICC හි විනය නීති සංග්‍රහයේ (ICC Code of Conduct) පළමු මට්ටමේ (Level 1) වරදක් ලෙස අයි.සී.සීය පෙන්වා දෙනවා.

එංගලන්ත දෙවන ඉනිමේ හයවන පන්දුවාරයේදී ඩකට් දැවී ගිය අතර, එහිදී එම කඩුල්ල සැමරීමේදී සිරාජ් “දැවී ගිය පිතිකරුවාට ඉතා ආසන්නව අධික ලෙස ප්‍රීති ඝෝෂා කිරීමක්” සිදුකළ බව ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

මෙය ICC විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර, එය “පිතිකරුවෙකු දැවී යාමෙන් පසු ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි” ක්‍රියාවක් ලෙස සැලකෙනවා.

මෙය මාස 24ක් තුළ සිරාජ්ට හිමි වූ දෙවන දඬුවම් ලකුණයි. මීට පෙර ඔහුට දඬුවම් ලකුණක් හිමි වූයේ 2024 දෙසැම්බර් 7 වන දින ඇඩිලේඩ් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදීයි.

මාස 24ක් ඇතුළත දඬුවම් ලකුණු හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැස් කරන ක්‍රීඩකයින්ට තරග තහනම්වලට මුහුණ දීමට සිදු වනවා.

සිරාජ් මෙම වරද පිළිගෙන ඇති අතර, තරග තීරක රිචී රිචඩ්සන් විසින් නියම කරන ලද දඬුවම ද පිළි ගෙන තිබෙනවා.