Ultimate magazine theme for WordPress.

සමු ගැනීමේ තරගයක් නොමැතිවම ශකිබ්ට සමු ගන්න සිදු වෙයි

සමු ගැනීමේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකරම සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දීමට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට සිදුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට ඔහු තීරණය කිරීමත් සමගයි.

එම තරගය සිය අවසන් ටෙස්ට් තරගය බව මීට පෙර ශකිබ් නිවේදනය කර තිබූ අතර, ඔහු ඒ සදහා සහභාගී වීමට නිව් යෝර්ක් නුවර සිට ඩකා නුවර වෙත පැමිණෙමින් සිටියා.

නමුත්, ඔහුට එරෙහිව බංග්ලාදේශය තුළ විරෝධතා ඇති වීම හේතුවෙන් ශකිබ්ට ඩුබායිහි තාවකාලිකව රැදී සිටින ලෙසට උපදෙස් ලැබී තිබුණා.

ඒ අනුව ඔහුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් පැවැති අතර, මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඒ බව තහවුරු කරමින් සදහන් කර ඇත්තේ ශකිබ් වෙනුවට සංචිතයට වමත් දග පන්දු යවන ක්‍රීඩක Hasan Murad ආදේශ කිරීමට පියවර ගත් බවයි.

බංග්ලාදේශයේ ආණ්ඩු බලය හොඹවනු ලැබූ අවාමි ලීග් ආණ්ඩුව බිද වැටීමත් සමග එම පක්ෂයට සම්බන්ධ ප්‍රබලයින් රැසක් අත්අඩංගුවට ගැනීමත් (ශකිබ් ද එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියා), එරට පැවැති ආණ්ඩුවට එරෙහි විරෝධතා අතරතුර සිදු වූ ඝාතනයකට අදාළව ශකිබ් ද සැකකරුවෙකු ලෙස නම් කර තිබීමත් පදනම් කර ගනිමින් තමන්ට බංග්ලාදේශයට පැමිණීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශකිබ් මීට පෙර පෙන්වා දී තිබුණා.

නමුත්, ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනු ඇති බව එරට අන්තර් කාලීන ආණ්ඩුව පසුව පවසා තිබුණා. ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ද අනුමැතියට යටත්වයි ඔහුව බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට නම් කර තිබුණේ.