Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර පිටියෙන් මාස පහක දිගු විරාමයක් – ඉදිරි කාලසටහන මෙන්න

ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මේ වන විට ජාත්‍යන්තර පිටියෙන් දීර්ඝ විවේකයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මාස පහක පමණ කාලයක් යන තුරු ඉදිරියේදී කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට යෙදී නැහැ.

මෙම වසරේදී සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 17 ක් හා විස්සයි 20 තරග 13 ක්(ආසියානු කුසලානය හැර) ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

ඒ අතරින් මෙම වසරේදී ඔවුන් විස්සයි 20 තරගයක් නවසීලන්තයේදී ක්‍රීඩා කළ අතර, එක්දින තරග 3ක් නවසීලන්තයට එරෙහිවත්, එක්දින තරග දෙකක් ඔස්ට්‍රේලියාවට එරෙහිවත් ක්‍රීඩා කළා. එමෙන්ම ටෙස්ට් තරග දෙකක් ද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ඒ අනුව මෙම වසරේදී ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 12 ක් හා විස්සයි 20 තරග 12 ක් (ආසියානු කුසලානය හැර) පමණයි.

ශ්‍රී ලංකාවට යළිත් ජාත්‍යන්තර තරගාවලියක් යෙදී ඇත්තේ ලබන ජූලි මාසයේදී බංග්ලාදේශ කණ්ඩායම මෙරට සිදු කරන තරග සංචාරයේදීයි.

එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ඇතුළත්.

ඊට අමතරව මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හා පාකිස්තාන තරග සංචාරවල නිරත වීමට නියමිතව ඇති අතර, අයර්ලන්ත කණ්ඩායමද මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. එමෙන්ම විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලිය ද ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉදිරි මාස පහක කාලය තුළදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග යෙදී නැතත්, ඇතැම් ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නියමිතයි. මාර්තු 22 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වෙනවා.

මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර හා ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර, හෙට(19) දිනයේදී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ආරම්භ වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකාව එම තරගාවලිය සදහා සුදුසුකම් ලැබුවේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ජාත්‍යන්තර තරග කාලසටහන –

  • 2025 ජූලි – බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
  • 2025 සැප්තැම්බර් – සිම්බාබ්වේ පිලට එරෙහිව එරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
  • 2025 ඔක්තෝබර් – T20 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී
  • 2025 නොවැම්බර් – අයර්ලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
  • 2025 නොවැම්බර්/දෙසැම්බර් – පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්