Ultimate magazine theme for WordPress.

වසර හයකට පසුව වෝනර්ට ඔස්ට්‍රේලියානු කණ්ඩායමකින් නායකත්වයේ වගකීම පැවරෙයි

සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ නායකයා ලෙස එළඹෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පත් කර තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව පනවා තිබූ ජීවිතාන්තය දක්වා වූ නායකත්ව තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත් පසුබිමකයි.

2018 වසරේදී කේප් ටවුන්හීදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට වරදකරුවෙකු වීම හේතුවෙන් එවකට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකයා වූ වෝනර්ට එරෙහිව නායකත්ව තහනමක් හා වසරක ක්‍රිකට් තහනමක් පැනවුණා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතියට 2022 වසරේ දී සංශෝදන කිහිපයක් සිදු කෙරුණු අතර, ඒ අනුව වෝනර්ට එරෙහිව පනවා ඇති තහනම වහාම ඉවත් කිරීම සදහා ඔහු විසින් සියලු නිර්ණායක සපුරා ඇති බවයි මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් චර්යා කොමිසම ඒකමතිකව තීරණය කර තිබුණේ.

වෝනර් මීට පෙර 2011 වසරේ දී ද තන්ඩර් කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඔහුට එරෙහිව ඔස්ට්‍රේලියාවේ කිසිදු කණ්ඩායමක නායකත්වය දැරිය නොහැකි බවට තහනමක් පනවා තිබුණ ද, පසුගිය කාලයේ දී ඩේවිඩ් වෝනර් විසින් BPL, IPL, ILT20 යන තරගාවලියන්හීදී කණ්ඩායම්වල නායකත්වය දරනු ලැබුවා.

අවසන් වරට ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමක නායකත්වය දැරුවේ 2018 වසරේදීයි. එම වසරේ දී වෝනර් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නවසීලන්තයට එරෙහි තරගාවලියකදී මෙහෙයවනු ලැබුවා.

එළඹෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය දෙසැම්බර් 17 වැනිදා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව කැන්බරාහීදී පැවැත්වීමට නියමිතයි.