Ultimate magazine theme for WordPress.

වනිදු හා පැතුම් නිසා ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්; සනත්ට පමණක් වනිදු දෙවැනි වෙයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අයර්ලන්තය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 70ක විශිෂ්ඨ ජයක් ඊයේ(21) වාර්තා කළේ තරගාවලියේ සුපිරි 12 වටයේ ද සිය ස්ථානය තහවුරු කර ගනිමින්.

පළමු වටයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ පළමු රට බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අතර, නෙදර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට ද මේ වන විට සිදුව තිබෙනවා.

ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්තාවක් ද පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩාය‍ම පළමුව පන්දුවට පහර දුන් අතර, ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 8කට දැවී ගියේ අයර්ලන්තයට තරගය ජය ගැනීම සදහා මනා අවස්ථාවක් විවෘත කරමින්.

කෙසේ වෙතත්, පසුව පිටියේ එක් වූ පැතුම් නිස්සංක හා වනිදු හසරංග සිව්වන කඩුල්ලට ලකුණු 123ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නැගුවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 තුළ සටහන් වුණේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලෙසයි.

එය සැබවින්ම නව වාර්තාවක් ලෙස හැදින්විය හැකියි. ඊට හේතුවනම් මීට පෙර ලකුණු 10ට අඩුවෙන් කඩුලු 3ක් දැවී ගිය අවස්ථාවක ලකුණු 150 සීමාව පසු කර යාමට ලොව වෙනත් කිසිදු කණ්ඩායමක් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී සමත්ව නොතිබීමයි.

මීට පෙර එවැනි අවස්ථාවක වාර්තා වී තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ මෙක්සිකෝවට එරෙහිව පැනමා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 148යි.

එම තරගයේ දී පැනමා කණ්ඩායමේ ද පළමු කඩුලු 3 ලකුණු 8දී බිද වැටී තිබුණා.

මීට පෙර ලකුණු 8කට කඩුලු 3ක් දැවී ගිය අවස්ථාවක ටෙස්ට් ක්‍රීඩා කරන රටක් ලබා ගෙන තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2010 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්තයට එරෙහිව කඩුලු 6ක් දැවී ඔස්ට්‍රේලියාව වාර්තා කළ ලකුණු 147යි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 8කට දැවී යාම සටහන් වුණේ 20යි 20 ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩයමේ පළමු කඩුලු 3 ලකුණු 11ක් තුළ අවස්ථා දෙකකදී බිද වැටී තිබුණා.

ඒ, 2007 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව හා 2009 වසරේ දී නවසීලන්තයට එරෙහිවයි.

වනිදු හා පැතුම් අතර ඊයේ තරගයේ දී ගොඩ නැගුණු ලකුණු 123ක සබදතාවය 20යි 20 ලෝක කුසලාන තරගයකදී සිව්වන කඩුල්ලට (හෝ ඉන් පහත) ගොඩ නැගුණු හොදම සබදතාවයයි.

වනිදු හා පැතුම් අතර ගොඩ නැගුණු සබදතාවය 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ සිව්වැනි ඉහළම ලකුණු සබදතාවය ද වනවා.

එමෙන්ම වනිදු මෙම තරගයේ දී වාර්තා කළ ලකුණු 71 ඉතිහාසගත වුණේ 20යි 20 ලෝක කුසලානයක ක්‍රීඩා කළ සිය පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර සනත් ජයසූරිය 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව (ශ්‍රී ලංකාවේ පළමු 20යි 20 ලෝක කුසලාන තරගයේ දී) පන්දු 44කින් ලකුණු 88ක් වාර්තා කරමින් 20යි 20 ලෝක කුසලාන තරගයක සිය මංගල ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනවා.

Leave a comment