ලෝක කුසලානයක සත්කාරකත්වය ගැනීමේ අරමුණින් දියගම ක්‍රීඩාංගනයට යළි අවධානය

2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට තනිවම ලබා ගැනීමට නොහැකි වූයේ ඒ සදහා දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම්වලින් යුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 5 ක් ශ්‍රී ලංකාවේ නොතිබූ බැවින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළි නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා පවසනවා.
ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ කොළඹ දී පැවැති අතර, එහිදී ක්‍රිකට් ආයතනයේ නව නිළධාරී මඩුල්ල පත් කර ගැනීම සදහා වූ නිලවරණය පැවැත්වුණා. ඉන් අනතුරුවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේ.
2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට හා ඉන්දියාවටයි.
ශ්‍රී ලංකාව සතුව මේ වන විට දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගන ලෙස කොළඹ ආර් ප්‍රේමදාස, පල්ලේකැලේ, හම්බන්තොට හා දඹුල්ල යන ක්‍රීඩාංගන පවතිනවා.
ඒ අනුව දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි තවත් ක්‍රීඩාංගනයක් දියගම ප්‍රදේශයේ ඉදි කිරීම පිළිබද යළි අවධානය යොමු කරන බවයි ශම්මි සිල්වා මහතා සදහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කරමින් පවතින බව සභාපතිවරයා කියා සිටියා.
මේ වන විට ක්‍රීඩා සමාජ විසින් ප්‍රකාශ කරන ඡන්ද 148 ක් ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා යොදා ගැනෙන අතර, එය දීර්ඝ කාලයක් තිස්සේ පාර්ශව රැසක විවේචනයට ලක්වනු දක්නට ලැබුණා.
ඒ අනුව මෙම ඡන්ද ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බවයි ශම්මි සිල්වා මහතා කියා සිටියේ.