Ultimate magazine theme for WordPress.

ලුවිස්ගේ සුපිරි ප්‍රහාරය හා මෝතිගේ කඩුලු 4 හමුවේ එංගලන්තයට දරුණු පරාජයක්

Match Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු අටක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(1) අලුයම සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට කොදෙව්වන් ඉදිරියෙන් පසුවනවා.

Antigua හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දෙවනුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමට පන්දුවාර 15 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ඔවුන්ට පළමුව එංගලන්තයෙන් හිමි වූ ලකුණු 210 ක ජයග්‍රාහී ඉලක්කය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 35 කදී ලකුණු 157 ක් ලෙස සංශෝදනය වුණා.

එවින් ලුවිස්ගේ සුපිරි පිතිහරඹය හමුවේ කොදෙව්වන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 25.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ දී නොදැවුණු ශතකයක් වාර්තා කළ ලුවිස් මෙම තරගයේ දී පන්දු 69 කින් ලකුණු 94 ක් ලබා ගත්තා. හයේ පහර 8ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. බ්‍රෙන්ඩන් කිිංග් ලකුණු 30 යි.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

කොදෙව්වන්ගේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 209 කට සීමා වුණේ පන්දුවාර 45.1 ක් අවසානයේදීයි.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 48 ක් හා සෑම් කරන් ලකුණු 37 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ගුඩකේෂ් මෝති ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගත්තා. මැතිව් ෆෝර්ඩ්, ජෙයිඩන් සීල්ස් හා අල්සාරි ජෝසප් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ජෝර්ඩන් කොක්ස්, ඩෑන් මෝස්ලි, ජෝන් ටර්නර් හා ජෙමී ඕවර්ටන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්.