Ultimate magazine theme for WordPress.

Watch : මතභේදාත්මක විනිසුරු තීරණයක් නිසා උණුසුම් වූ ඉන්දු-ඇෆ්ඝන් දෙවැනි අවසන් පූර්ව තරගය

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී මතභේදාත්මක දැවී යාමක් සිදු වන ආකාරය දැක ගත හැකි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක දැවැන්ත ලකුණු පුවරුවක් ඉන්දීය A කණ්ඩායමට එරෙහිව නිර්මාණය කළා.

පළමු කඩුල්ල වෙනුවෙන් Zubaid Akbari හා Sediqullah Atal පන්දුවාර 14.1 ක් තුළ ලකුණු 137 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාවට දැඩි තර්ජනයක් එල්ල කිරීමට සමත් වුණා.

පළමු කඩුල්ල Aaqib Khan විසින් දවා ගත් අතර, එහිදී දැවී ගියේ පන්දු 41 කින් ලකුණු 64 ක් ලබා සිටි Zubaid Akbari. කඩුලු රකින ක්‍රීඩක Prabhsimran Singh අතට උඩ පන්දුවක් ලබා දී ඔහු දැවී ගිය නමුත්, එම දැවී යාම දැඩි මතභේදයකට තුඩු දුන්නා.

ඉන්දීය ක්‍රීඩකයින් විසින් පිතිකරු දැවී ගිය අයෙකු ලෙස නම් කරන්නැයි කළ ඉල්ලීම පළමුව පිටියේ විනිසුරුවරයා (චාමර ද සොයිසා) විසින් ප්‍රතික්ෂේප කරමින් පිතිකරු දැවී නොගිය අයෙකු ලෙස නම් කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, දිගින් දිගටම ඉන්දීය ක්‍රීඩකයින් කළ ඉල්ලීම හමුවේ පිටියේ විනිසුරුවරුන් දෙදෙනා විසින් එය තෙවන විනිසුරු වෙත යොමු කිරීමට කටයුතු කළා.

මෙම තරගාවලිය සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) යොදා නොගන්නා බැවින් ක්‍රීඩකයින්ට කිසිදු විනිසුරු තීරණයක් අභියෝගයට ලක් කළ හැකි වන්නේ නැහැ.

පළමුව මෙම අවස්ථාව දැවී යාමක් නොවන බව ප්‍රකාශ කළ විනිසුරුවරයා සුළු වේලාවකින් එය තෙවන විනිසුරු වෙත යොමු කිරීමට කටයුතු කිරීම මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න නගන කරුණක්.

අදාළ උඩ පන්දුව නිවැරැදි ආකාරයෙන් රැක ගත්තේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එය තෙවන විනිසුරුට යොමු කළ බවට අනුමාන කළ හැකි නමුත්, පළමුව දැවී යාමක් නොවන බවට ප්‍රකාශ කර තිබියදී විනිසුරුවරුන් එය තෙවන විනිසුරුට යොමු කිරීමට කටයුතු කිරීමයි මෙහිදී ඇති වන ගැටලුව වන්නේ.

එමෙන්ම පුනරූපන නැරඹීමේ දී පන්දුව පිත්තේ වදින ආකාරයක් ද පැහැදිලිව දැක ගත නොහැකි අතර, එය දැවී යාමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන ආකාරයක් දැක ගත හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, එවන් පසුබිමක තෙවන විනිසුරු (Nasir Hussain) විසින් පිතිකරු දැවී ගිය අයෙකු ලෙසයි නම් කිරීමට පියවර ගත්තේ.

ඊට පිතිකරු Zubaid Akbari, ඇෆ්ඝනිස්තාන පුහුණුකරු හා සෙසු ක්‍රීඩකයින් දැඩි විරෝධයක් පල කළ අතර, පිතිකරුට ක්‍රීඩාංගනයෙන් ඉවත්ව නොයන ලෙසට පුහුණුකරු විසින් ප්‍රකාශ කරන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

නමුත්, මිනිත්තු පහක පමණ කාලයක් පැවැති උණුසුම් වචන හුවමාරුවලින් අනතුරුව පිතිකරු ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට කටයුතු කළා.

වීඩියෝ කිහිපයක් පහතින් නරඹන්න –