Ultimate magazine theme for WordPress.

‘මට අවශ්‍ය වන්නේ ඉදිරි වසර කිහිපයේදී ක්‍රීඩාව විඳින්න පමණයි’ : දෝනිගෙන් අනාගතය ගැන ඉගියක්

තමාට ක්‍රීඩා කළ හැකි අවසන් වසර කිහිපයේ දී තමන්ට අවශ්‍ය වන්නේ ක්‍රීඩාව විදීම පමණක් බව ඉන්දීය හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මේ වන විට 43 වන වියේ පසුවන දෝනි ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැති පසුබිමකයි දෝනි මේ බව සදහන් කර ඇත්තේ.

“මට ක්‍රීඩා කළ හැකි අවසන් වසර කිහිපයේ දී මට අවශ්‍ය වන්නේ ක්‍රීඩාව විඳින්නයි.” යනුවෙන් දෝනි ගෝවාහිදී ප්‍රවර්ධන උත්සවයකට එක්වෙමින් කියා සිටියා.

“හරියට අපේ පොඩි කාලේ අපි ක්‍රීඩාව රසවිඳිමින් හවස 4ට ක්‍රීඩා කරනවා වගේ. නමුත් ඔබ වෘත්තීය ක්‍රීඩාවක් කරන විට ක්‍රීඩාවක් ලෙස එය රස විඳීමට අපහසුයි. ඉතිං හැඟීම් සහ වගකීම් තිබුණත් මට කරන්න අවශ්‍ය වෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රීඩාව භුක්ති විඳීමයි.”

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී Kasi Viswanathan සදහන් කර තිබුණේ දෝනි එළඹෙන තරග වාරයට ක්‍රීඩා කරනු ඇති බවට තමන් විශ්වාසයෙන් පසුවන බවයි

“ඔහු දිගටම අපි වෙනුවෙන් ක්‍රීඩා කරනවාට අපි කැමතියි, නමුත් ඔහුගෙන් අපට තවමත් තහවුරු කිරීමක් ලැබී නැහැ. ඔහු ඔක්තෝබර් 31 වැනිදාට පෙර තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Kasi Viswanathan සදහන් කළා.

එළඹෙන IPL තරග වාරය වෙනුවෙන් තම කණ්ඩායමේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව සියලු කණ්ඩායම් විසින් ඔක්තෝබර් 31 වැනිදා වන විට ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී වසර පහකට වැඩි කාලයක් ගතව ඇති ඉන්දීය ක්‍රීඩකයින්ට ද එළඹෙන තරගාවලිය වෙනුවෙන් ‘uncapped’ හෙවත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බැවින් දෝනිට ‘uncapped’ ක්‍රීඩකයෙකු ලෙස මෙවර තරග වාරයට එක්වීමට අවස්ථාවක් පවතිනවා.

මෙම නීතිය මීට පෙර ද පැවැති නමුත්, එය 2021 වසරේ දී අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

‘Uncapped’ ක්‍රීඩකයෙකු ලෙස දෝනිව 2025 තරග වාරය සදහා සංචිතයේ රදවා ගතහොත් චෙන්නායි කණ්ඩායමට ඔහු වෙනුවෙන් ගෙවීමට සිදු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් පමණයි.