Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි

Match Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ මුහුණ දුන් පළමු තරගයෙන් විශීෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද(24) සමත් වුණා.

බංග්ලාදේශය සමග පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ කඩුලු 5කින්.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171ක්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 40ක සබදතාවයක් ගොඩ නැගීමට ලිටොන් දාස් හා මොහොමඩ් නයීම් සමත් වුණා.

ලිටොන් ලකුණු 16කට දවා ගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර, අනතුරුව ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුක් ද සිදු වනු දක්නට ලැබුණා.

තත්ත්වය පාලනය කිරීමට සෙසු ක්‍රීඩකයන්ට හා විනිසුරුවරුන්ට ද මැදිහත් වීමට සිදු වුණා.(දර්ශන පහතින්)

ශකිබ් අල් හසාන් රැස් කළේ ලකුණු 10ක් පමණයි. අනතුරුව මොහොමඩ් නයීම් හා මුෂ්ෆිකර් රහීම් අතරේ 3 වැනි කඩුල්ල සදහා පන්දු 51කින් ලකුණු 73ක සබදතාවයක් ගොඩ නැගුණා.

නයීම් පන්දු 52කින් ලකුණු 62යි. මුශ්ෆිකර් රහීම් පන්දු 37කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 57ක්. හයේ පහර දෙකක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අෆිෆ් හුසේන් ලකුණු 7කට දැවී ගිය අතර, මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 10යි.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න, ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 1කට දැවී ගියා.

පසුව පැතුම් නිස්සංක හා චරිත් අසලංක දෙවැනි කඩුල්ලට ලකුණු 69(45)ක සබදතාවයක් ගොඩ නැගුවා. පැතුම් දැවී ගියේ ලකුණු 24ක් ලබා සිටියදී ශකිබ් අල් හසාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

අනතුරුව එම පන්දුවාරයේ දී ම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගියේ ද පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. වනිදු හසරංග ලකුණු 6කට දැවී ගියා.

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා භානුක රාජපක්ෂ හා චරිත් අසලංක අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 86(52)ක්.

අද දින උපන් දිනය සමරන භානුක රාජපක්ෂ පන්දු 31කින් වේගවත් ලකුණු 53ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින්.

චරිත් අසලංක පන්දු 49කින් නොදැවී ලකුණු 80යි. ඔහුගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

භානුක හා අසලංක ලබා දුන් උඩ පන්දු දෙකක් ලිටොන් දාස් අතින් ගිලිහී යාම ද තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

Leave a comment