Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට තවත් අයි.සී.සී තරගාවලියක සත්කාරකත්වය හිමි වෙයි

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන අවසන් රටවල් දෙක තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (Women’s World Cup qualifier) අප්‍රේල් 9 වැනිදා පාකිස්තානයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දින 10 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 15 ක් ඇතුළත් අතර, තරගාවලියට රටවල් හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී හා Lahore City Cricket Association ක්‍රීඩාංගනයේදී තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, ස්කොට්ලන්තය, තායිලන්තය හා පාකිස්තානය යන රටවල් මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සත්කාරක ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා නවසීලන්තය යන රටවල් තරගාවලියට මේ වන විටත් සෘජුව සුදුසුකම් ලබා අවසන්.

තරගාවලියට පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත් ඔවුන් ඉන්දියාවට ගමන් නොකරන අතර, වෙනත් රටකදී ඔවුන් ක්‍රීඩා කරන තරග පැවැත්වීමට කටයුතු කරනු ඇති.

ඒ, මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර කිහිපයේදී ඉන්දියාව හා පාකිස්තානය, එම රටවල් දෙකේදී පැවැත්වෙන අයි.සී.සී තරගාවලි වෙනුවෙන් සිය ඉදිරිවාදී රටේ සංචාරය නොකිරීමටත්, සංචාරය නොකරන අදාළ රට (ඉන්දියාව හෝ පාකිස්තානය) ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමටත් තීරණය කර තිබීම හේතුවෙන්.