Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකකින් ඉදිරියට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකකින් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ කඩුලු හතක ජයත් සමගින්.

ඒ අනුව මෙතෙක් 6 වැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව මේ වන විට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ 47.62% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

නවසීලන්තය 5 වැනි ස්ථානය දක්වාත්, එංගලන්තය 6 වැනි ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.

30.56% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන බංග්ලාදේශය රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි. ශ්‍රී ලංකාව තවදුරටත් 3 වැනි ස්ථානයේ පසුවනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට තවදුරටත් මනා අවස්ථාවක් පවතින අතර, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගාවලි දෙක දකුණු අප්‍රිකාවට (එරටදී) හා ඔස්ට්‍රේලියාවට (මෙරටදී) එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එහිදී තරග දෙක බැගින් තරග 4ක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන් තරග හතරම ජයගතහොත් ශ්‍රී ලංකාවට 69.23% ලකුණු ප්‍රතිශතයක් සමග අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ඉහළ අවස්ථාවක් උදා වනවා.

තරග 3ක් ජයගතහොත් ශ්‍රී ලංකාවට 61.54% ක ලකුණු ප්‍රතිශතයක් හිමිවන අතර, එවැනි තත්ත්වයක් යටතේ ද ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ දොරටු විවෘත වීමට ඉහළ අවස්ථාවක් පවතිනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියේ ප්‍රතිපලය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා ගැනීම සදහා ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති.