තෙවැනි එක්දින තරගයට ලංකාවෙන් ප්‍රබල වෙනසක් – එංගලන්ත නායකයාටත් චරිත් සැර වෙයි
එංගලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වනු ඇති බව නායක චරිත් අසලංක පවසනවා.
තරගයට පෙර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.
පළමු තරග දෙක ක්‍රීඩා නොකළ වනිදු හසරංග හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව ඔහු තහවුරු කර සිටියා.
ඒ අනුව තෙවැනි තරගයේදී ජෙෆ්රි වැන්ඩර්සේ ද සමගින් පා දග පන්දු යවන්නන් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි අසලංක සදහන් කළේ.
වනිදුගේ පැමිණීම හේතුවෙන් ඇතැම් විට හෙට තරගයේදී පළමු තරග දෙකට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් තිබෙනවා.
මේ අතර, පවන් රත්නායකට පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දිය හැකිනම් එය සුදුසු බව මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා යළිත් සදහන් කර සිටියා.
නමුත්, පුහුණුකරු, තේරීම් කමිටුව ඇතුළු පාර්ශව රැසක් සමග සාකච්ඡා කර වැඩි දෙනාගේ මතය අනුව පිතිකරණ ස්ථාන තේරීමට සිදුව ඇති බවයි චරිත් අසලංක පෙන්වා දුන්නේ.
මේ අතර, දෙවැනි එක්දින තරගයට යොදා ගත් තණතීරුව තමන් ක්‍රීඩා කළ නරකම තණතීරුව බවට එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශයට ද මෙම මාධ්‍ය හමුවේදී චරිත් පිළිතුරු ලබා දුන්නා.
“ඒක එයාගේ අදහස. මගේ අදහස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්. එයා කියනවානම් මේක දැකපු සවුත්තුම තණතීරුව කියලා ඒක එයාගේ පැත්තෙන් කියන එකක්. නමුත් ලකුණු 440 ක් රැස් කරපු තරගයක්. 2023 ලෝක කුසලානයේදී බැංගලෝර්වලදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 180 (156) යි. එතකොට කවුරුත් මොකුත් කිව්වේ නෑ ඒ තණතීරුවට. දැන් එහෙම කියන්න හේතුව මම දන්නේ නෑ. බලමු ඊළග තරගයෙන් පස්සේ මොනව කියයිද කියලා…”