තරගාවලි ජයෙන් පසු ප්‍රබලයින් සිව් දෙනෙකු එක්දින සංචිතයෙන් නිදහස් කෙරේ – තිදෙනෙකුට කැදවීමක්

නවසීලන්තය සමග මේ දිනවල පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ප්‍රධාන ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් හා අසිත ප්‍රනාන්දු මෙලෙස සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එළඹෙන තීරණාත්මක දකුණු අප්‍රිකා සංචාරය ඉලක්ක කර ගනිමින් එම ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් විවේකයක් ලබා දීමත්, දකුණු අප්‍රිකා සංචාරය සදහා සූදානම් වීමට අවශ්‍ය කාලය ලබා දීමත් අරමුණු කර ගනිමින් මෙලෙස ඔවුන් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.
ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර හා ඒෂාන් මාලිංග එක්දින සංචිතයට ආදේශ කිරීමට තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළේ.
දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව DLS ක්‍රමවේදය යටතේ කඩුලු තුනක ජයක් වාර්තා කිරීමත් සමග තරගාවලියේ ජය ද තරග 2-0 ක් ලෙස මේ වන විටත් ශ්‍රී ලංකාව තහවුරු කර ගෙන අවසන්.
ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයේ දී කුසල් මෙන්ඩිස් පාදයක ආබාධයකට ද මුහුණ දුන් නමුත්, එම ආබාධය ද සහිතව සටන්කාමී ඉනිමක් දියත් කළ මෙන්ඩිස් නොදැවී ලකුණු 74 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.
ඒ අනුව මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති බැවින් හෙට(19) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අවසන් තරගයේ දී නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වනු ඇති.
දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරයට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු මීට පෙර එරට බලා පිටත්ව ගිය අතර, ඔවුන් ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලීනව පත් කෙරුණු Neil McKenzie ගේ මගපෙන්වීම යටතේ පසුගිය 13 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ දී පුහුණු කදවුරකට ද එක්ව සිටිනවා.
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය එළඹෙන 27 වැනිදා Durban හීදී ද, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha ද ආරම්භ වීමට නියමිතයි.