Ultimate magazine theme for WordPress.

තරංගගේ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක් පනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් පසුගිය 8 වැනිදා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, උපුල් තරංග විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයා සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද තවත් නියෝගයක් නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතලේ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේ තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය මාර්තු මාසයේ පැවැති Legends Cricket Trophy තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

ඒ අනුව එම නඩුව පසුගිය 8 වැනිදා මාතලේ මහාධිකරණයේ දී කැද වූ නමුත්, එහිදී අනාවරණය වූයේ උපුල් තරංග අධිකරණයට දැනුම්දීමකින් තොරව විදෙස් ගත වී සිටින බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීම සදහායි ඔහු එලෙස විදෙස් ගතව තිබුණේ.