Ultimate magazine theme for WordPress.

කොන්ස්ටස්, කවාජා, මර්නස් හා ස්මිත් පළමු දිනයේ වැඩි ගෞරව ඕස්ට්‍රේලියාවට හිමි කර දෙයි

Day 1 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ පළමු දිනය අද(26) මෙල්බර්න්හීදී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටියා.

අද දිනයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට 19 හැවිරිදි සෑම් කොන්ස්ටස් සමත් වීම විශේෂත්වයක්. ඔහු උස්මාන් කවාජා සමග එක්ව පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 89 ක්. කොන්ස්ටස් ලකුණු 60 ක් රැස් කළේ පන්දු 65 කින්. හයේ පහර දෙකක් හා හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ හයේ පහර දෙකම ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව එල්ල කිරීම කැපී පෙනුණා. 2021 වසරේ ජනවාරි මාසයේදී සිඩ්නිහීදී පැවැති ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් එල්ල කළ හයේ පහරින් පසුවයි පිතිකරුවෙකු මෙලෙස බුම්රාට එරෙහිව ටෙස්ට් තරගයකදී හයේ පහරක් එල්ල කළේ.

ඉනිම අතරතුරදී ඔහු හා විරාත් කෝලි අතර ශාරීරිකව සිදු වූ ගැටීමක් හේතුවෙන් යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම අර්ධ ශතක වාර්තා කිරීමට ද අද සමත් වුණා. කවාජා ලකුණු 57 ක්, මර්නස් ලබුෂේන් ලකුණු 72 ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 68 ක් රැස් කළා.

කවජා හා ලබුෂේන් දෙවැනි කඩුල්ලට ලකුණු 65 ක ද, ස්මිත් හා ලබුෂේන් තෙවැනි කඩුල්ලට ලකුණු 83 ක ද සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයක් අසාර්ථක වීම හේතුවෙන් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ට්‍රැවිස් හෙඩ් ලකුණු නොලබා දැවී ගියා. මිචෙල් මාෂ් රැස් කළේ ලකුණු 4 ක් පමණයි.

ඇලෙක්ස් කෙරී ලකුණු 31 කට දැවී ගිය අතර, පැට් කමින්ස් නොදැවී ලකුණු 8 යි. පන්දු යැවීමේදී බුම්රා ලකුණු 75 කට කඩුලු 3 ක් දවා ගත්තා. ආකාශ් දීප්, රවීන්ද්‍ර ජඩේජා හා වොෂින්ටන් සුන්දර් කඩුල්ල බැගින් බිද හෙලුවා.