Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් ජයග්‍රහනයට කඩුලු හයක් පිටුපසින්

Day 2 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මුල්තාන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(26) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු කොදෙව්වන්ට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 254 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 76 ක් පමණයි.

ඒ අනුව පාකිස්තානය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 178 ක් ලබා ගත යුතු අතර, කොදෙව්වන් ඒ සදහා කඩුලු හයක් දවා ගත යුතුයි.

ශාන් මසූඩ් හා මුහම්මද් හුරයිරා ලකුණු 2 බැගින් ලබා සිටියදී දැවී ගියා. බාබර් අසාම් ලකුණු 31 යි. කම්රන් ගුලාම් ලකුණු 19 ක් රැස් කළා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින සවුද් ශකීල් ලකුණු 13 ක් හා කශිෆ් අලී එක් ලකුණක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී කෙවින් සින්ක්ලයාර් කඩුලු 2 ක් බිද හෙලුවා.

ඊයේ දිනයේදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 163 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය රැස් කළේ ලකුණු 154 ක් පමණයි.

අද දිනයේදී දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබා ගත්තා. ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 52 ක් රැස් කළ අතර, Tevin Imlach ලකුණු 35 ක් හා අමීර් ජන්ගෝ ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සජීඩ් ඛාන් හා නෝමන් අලී කඩුලු 4 බැගින් බිද හෙලුවා.