ඔලිම්පික් උළෙලට කණ්ඩායම් 6 තෝරා ගන්නේ මෙහෙමයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සදහා රටවල් තෝරා ගැනීම වෙනුවෙන් ICC විසින් දෙමුහුන් ආකෘතියක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
1900 වසරෙන් පසුව පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ඇතුළත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව සදහා පිරිමි හා කාන්තා කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.
ඒ අනුව කණ්ඩායම් කිහිපයක් අයි.සී.සී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට නියමිතයි. තවත් කණ්ඩායම් කිහිපයක් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් හරහා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබනු ඇති.
කෙසේ නමුත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව කණ්ඩායම් කොපමන සංඛ්‍යාවක් තෝරා ගන්නේද ? සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්සේ කණ්ඩායම් කොපමණ සංඛ්‍යාවක් තෝරා ගන්නේ ද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
ඉන්දීය පිරිමි කණ්ඩායම මේ වන විට විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයේ පසුවන බැවින්, ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ඔවුන්ට ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමට ඉහළ අවස්ථාවක් පවතිනවා.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.
ඇමෙරිකා එක්සත් ජනපදය එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක රට වන බැවින් ඇමෙරිකානු කාන්තා හා පිරිමි කණ්ඩායම් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ඉඩ තිබෙනවා.
ඒ අනුව තවත් රටවල් පහකට පමණක් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වන බැවින් පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට අනිවාර්යයෙන්ම සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති.
ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14 වැනිදා සිට 30 දක්වා පැවැත්වීමට නියමිත වුවද, ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා කිහිපයක් ඊට දින කිහිපයකට පෙර ආරම්භ වනවා.
ඒ අනුව ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, එනම් 2028 වසරේ ජූලි 12 වන දින ක්‍රිකට් තරග ආරම්භ වන අතර, පිරිමි හා කාන්තා තරගාවලියන්හි පදක්කම් තරග ජූලි 19 සහ ජූලි 29 යන දිනවල පැවැත්වීමට නියමිතයි.
තරග පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට කිලෝමීටර් 48 ක් පමණ දුරින් පිහිටි Pomona හි තාවකාලිකව ඉදිකෙරෙන Fairgrounds ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර, දීර්ඝ කාලයක් තිස්සේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව ඇති ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයට එම ගැටලු විසදා ගැනීම සදහා තවත් මාස 3 ක කාලයක් ලබා දීමට ද අයි.සී.සීය තීරණය කර තිබෙනවා.
මෙවන් වරදකදී අයි.සී.සීයට ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය තහනමකට ලක් කිරීමට හැකියාව ඇතත්, 2028 ඔලිම්පික් උළෙලේ සත්කාරක රට ලෙස ඔවුන් කටයුතු කරන බැවින් අයි.සී.සීයට මෙම ගැටලුව වෙනත් ආකාරයකින් විසදා ගැනීමට සිදුව තිබෙනවා.