Ultimate magazine theme for WordPress.

ඉතාලිය ලෝක කුසලානයට රැගෙන ගිය ජෝ බර්න්ස් කණ්ඩායමෙන් නෙරපයි

2024 වසරේ පෙබරවාරි මාසයේ දී මිය ගිය සිය සහෝදරයාට උපහාරයක් ලෙසයි ඔහු ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කළේ.

සිය නිත්‍ය නායකයා වන ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෝ බර්න්ස් නොමැතිව 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉතාලිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වෙන මීළග ලෝක කුසලානයේදී ඉතාලියට නායකත්වය ලබා දීමේ වගකීම පවරා ඇත්තේ Wayne Madsen වෙතයි.

ගිවිසුම් සම්බන්ධයෙන් ඇති වූ ගැටළු හේතුවෙනුයි බර්න්ව ජාතික සංචිතයට තෝරා නොගැනීමට ඉතාලි ක්‍රිකට් සම්මේලනය (Federazione Cricket Italia) තීරණය කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එම සම්මේලනය ප්‍රකාශ කර නැහැ.

නමුත්, කෙටි කාලීන අරමුණුවලට වඩා කණ්ඩායම සඳහා ස්ථාවරත්වය, සමගිය සහ අඛණ්ඩතාව සහතික කිරීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාව ලබා දීමේ අරමුණින් ඔවුන් මෙම පියවර ගත් බව ද එරට ක්‍රිකට් සම්මේලනය නිකුත් කළ නිවේදනයක සදහන්.

ඉතාලිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි.

36 හැවිරිදි බර්න්ස් පෙබරවාරි 7 වැනිදා ආරම්භ වන තරගාවලිය සදහා පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියන්හීදී ඉතාලියට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවශ්‍ය නිසි නායකත්වය ලබා දුන්නා.

ඔහු ඉතාලිය වෙනුවෙන් විස්සයි 20 තරග 8ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ශතකයක් හා අර්ධ ශතකයක් සමගින් ලකුණු 45 ක සාමාන්‍යක් පවත්වා ගෙන ගියේ 140 ක පමණ ප්‍රහාරාත්මක වේගයක් ද රදවා ගනිමින්.

ඉතාලිය නියෝජනය කිරීමට පෙර බර්න්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී ඔහු ශතක 4ක් වාර්තා කළා. එක්දින තරග හයකදී ද ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කළා.

2024 වසරේ පෙබරවාරි මාසයේ දී මිය ගිය සිය සහෝදරයාට උපහාරයක් ලෙසයි ඔහු පසුව ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කළේ.

සිය මව ඉතාලි ජාතික කාන්තාවක් වීම හේතුවෙන් ජෝ බර්න්ස්ට ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා කිසිදු බාධාවක් එල්ල වූයේ නැහැ.

සිය සහෝදරයාට උපහාරයක් ලෙස ඔහු විසින් අංක 85 සිය ජර්සියේ සටහන් කර ගනිමින් (සහෝදරයා උපත ලබා ඇත්තේ 1985 වසරේ දී යි) ක්‍රීඩා කිරීමටයි පියවර ගත්තේ.