ආසියානු කුසලාන තරගාවලියන්හි විකාශන අයිතිය සෝනි සමාගමට – 2031 දක්වා සත්කාරක රටවල් මෙන්න

2024 වසරේ සිට 2031 වසර දක්වා කාලයට අදාළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට Sony Pictures Networks India (SPNI) සමාගම සමත්ව තිබෙනවා.
පසුගිය මාධ්‍ය හිමිකම් ගිවිසුම හා සැසදීමේ දී නව ගිවිසුමෙහි වටිනාකම 70% කින් ඉහළ ගොස් ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
2031 වසර දක්වා පැවැත්වීමට නියමිත සියලුම පිරිමි හා කාන්තා ආසියානු කුසලාන තරගාවලි, පිරිමි හා කාන්තා වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලි මෙන්ම පිරිමි හා කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිවල විකාශන අයිතිය මේ අනුව සෝනි සමාගම සතුවනවා.
විකාශන අයිතියට අදාළ වෙන්දේසිය සදහා සෝනි සමාගම හා Jio-Star සමාගම ඉදිරිපත්වීමට නියමිතව තිබූ නමුත්, වෙන්දේසිය සදහා Jio-Star සමාගම එක්ව සිටියේ නැහැ.
ඒ අනුව සෝනි සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක මූලික වටිනාකම යටතේ ( රුපියල් කෝටි 4951 ක පමණ අගයක්) විකාශන අයිතිය හිමි කර ගත්තා.
2031 වසර දක්වා වන කාලයේ දී පිරිමි ආසියානු කුසලාන තරගාවලි 4 ක් (එක්දින තරග රටාවෙන් දෙකක් හා විස්සයි 20 රටාවෙන් දෙකක්) පැවැත්වීමට නියමිතයි.
2025 පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර, 2027 එක්දින ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේදීයි. 2029 T20 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේදී ද, 2031 එක්දින ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.