Ultimate magazine theme for WordPress.

“හෝමාගම මෝඩ වැඩේ නවත්තන්න කියන්න” – අර්ජුන ජනපතිගෙන් ඉල්ලයි

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සකස් කරන බවට බලධාරින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්.

”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති…”

යනුවෙන් අර්ජුන රණතුංග මහතා සදහන් කළා.

මීට පෙර 2008 වසරේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරමින් සිටින අතරතුර දී අර්ජුන රණතුංග මහතා මෙලෙසින් අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීමට විරුද්ධව සිය හඬ අවදි කළ බැවින් අනතුරුව ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරින් ද ඉවත් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් රණතුංග මහතාගේ මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ.

එම ඉවත් කිරීම පිටුපස අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීමට එරෙහිව කළ විවේචන හේතු වන්නට ඇති බවට එම නිවේදනය ඔස්සේ පෙන්වා දෙනවා.

‍”අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිට පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි. සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි…”

යනුවෙන් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

”ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ.(2018-10-13 වනදායින් පසුව) අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න.”

“ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලොලින්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා.”

යනුවෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියා.

ALSO READ – කෝටි 800 යේ ක්‍රීඩාංගනය ඉදි වන්නේ නිසි ක්‍රමවේදයක් ලැබුණොත් පමණයි – SLC

Leave a comment