Ultimate magazine theme for WordPress.

කෝටි 800 යේ ක්‍රීඩාංගනය ඉදි වන්නේ නිසි ක්‍රමවේදයක් ලැබුණොත් පමණයි – SLC

හෝමාගම ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ආණ්ඩුව ද දැඩි විවේචනයට ලක් වන බව නොරහසක්.

බොහෝ දෙනෙකු මෙය වත්මන් ආණ්ඩුව විසින් කඩිමුඩියේ ආරම්භ කරන ව්‍යාපෘතියක් ලෙස හදුන්වන අතර, තවත් සමහරෙක් පසුගිය ආණ්ඩුව සමයේ මෙම ක්‍රීඩාංගනය ඉදි කිරීම ආරම්භ කිරීමට තීරණ කළ බව පෙන්වා දෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අප සොයා බැලීමක් කළා.

මෙම ක්‍රීඩාංගනය ඉදි කිරීමේ මූලික කටයුතු ආරම්භ කෙරුණේ පැවැති යහපාලන ආණ්ඩුවටත් පෙර පැවැති ආණ්ඩු සමයේ දී යි.(2010 වසරේ දී පමණ)

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් සැලසුමේ තවත් එක් පියවරක් වශයෙන්.

කෙසේ වෙතත්, එහි ඉදි කිරීම් කටයුතුවලට අදාළ කිසිවක් පසුගිය වසර ගණනාවක කාලය තුළ සිදු වූයේ නැහැ.

පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සදහන් කළේ මෙම ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3ක් තුළ අවසන් කරන බවයි.

ප්‍රේක්ෂකයින් 40,000කට වැඩි පිරිසකට තරග නැරඹීමේ හැකියාව මේ ඔස්සේ උදා වන නමුත්, ඒ සදහා වැය වන මුදල රුපියල් කෝටි 800ක් පමණ වනවා.

මෙම මුදල් ශ්‍රී ලංකා රජයෙන් ලබා නොදෙන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය ආයෝජනයක් ලෙස යොදවන බවත් පසුගියදා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණා.

එවැනි විශාල මුදලක් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙසේ යොදවන්නේදැයි මෙහිදී මතු වන ගැටලුවක්.

එවැනි මුදලක් සෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද දැඩි ගැටලුවක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මේ සදහා මුදල් ආයෝජනය කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර, නිසි ඇගයීමක් සිදු කර අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, එය එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

සම්මත ක්‍රියාපටිපාටියකට අනුව යමින් ඒ පිළිබද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, ඒ ඔස්සේ මුදල් ආයෝජනය සදහා නිසි ක්‍රමවේදයක් ලැබුණහොත් පමණක් ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු ආරම්භ කළ හැකි බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු අප වෙත සදහන් කළා.

දිවා රාත්‍රී තරග ක්‍රීඩා කළ හැකි මෙන්ම වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි ක්‍රීඩාංගනයක අවශ්‍යතතාවය හේතුවෙන් මීට පෙර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනය නවීකරණය කිරීම සදහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩකටයුතු ආරම්භ කළා.

කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයින්ගේ විරෝධතා හමුවේ එම කටයුතු අසාර්ථක වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු අප වෙත වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment