Ultimate magazine theme for WordPress.

සුපර් ලීගයේ පළමු ජය සොයා ශ්‍රී ලංකාව තරග බිමට – සජීවී විකාශය වෙන්නේ මෙහෙමයි

Preview

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ජය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(23) බංග්ලාදේශයට එරෙහිව තරග බිමට පිවිසෙනවා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමත් සමගයි.

මේ වන විට සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 12 වන ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු සෘන 2ක් ලබා ගනිමින්.

මෙතෙක් ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්වීම හේතුවෙන් සහ නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව යවා නිම නොකිරීම නිසා පැනවුණු දඩුවම් ලකුණු හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙලෙස සෘන ලකුණු දෙකක් හිමිව තිබෙනවා.

බංග්ලාදේශය මෙහි 6 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග 6න් 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 30කට හිමිකම් කියමින්.

එංගලන්තය තරග 9කට තරග වැදී ප්‍රසාද ලකුණු 40ක් ලබා සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හෙට ආරම්භ වන එක්දින තරගාවලියේ දී තරග 2ක් ජය ගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ අවස්ථාව ද ඔවුන්ට හිමි වනු ඇති.

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම එක්දින ඉතිහාසයේ දී මෙතෙක් කිසිදු තරගාවලියක් ජය ගෙන නැහැ.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 48ක් වන අතර, ඉන් තරග 39ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.

බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 7ක් පමණයි.(තරග දෙකක් විසදුමකින් තොරව අවසන්ව ඇත)

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකාව කුසල් ජනිත්ගේ නායකත්වය යටතේ ද, කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වය යටතේ ද තරග වදින අතර, එය 2023 ලෝක කුසලානය වෙනුවෙන් නිසි කණ්ඩායමක් හදුනා ගැනීම සදහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ගත් පළමු පියවර ලෙස හැදින්විය හැකියි.

පළමු එක්දින තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද පස්වරුවේ දී ඩකා නුවර දී සිය අවසන් පුහුණු සැසියට ද එක් වුණා.

මෙම තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද කැදවා තිබෙනවා.

ඔහු යළි අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමටයි නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට මෙරට වේලාවෙන් දහවල් 12.30ට මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සජීවී විකාශය ශ්‍රී ලංකාව තුළ චැනල් අයි නාලිකාව ඔස්සේ සිදු කෙරෙන අතර, බංග්ලාදේශය තුළ Gazi TV ඔස්සේ සිදු කරනු ඇති.

ඩයලොග් TV පාරිභෝගිකයින්ට මෙම තරගාවලිය Channel ONE (Ch. No. 1) නාලිකාව ඔස්සේ නැරඹිය හැකි අතර, PEO TV පාරිභෝගිකයින්ට EVENT TV (CH. 20) නාලිකාව ඔසසේ නැරඹිය හැකියි.

ශ්‍රී ලංකා සංචිතය –

Kusal Janith Perera (C), Kusal Mendis (VC), Danushka Gunathilaka, Dhananjaya De Silva, Pathum Nissanka, Dasun Shanaka, Ashen Bandara, Wanindu Hasaranga, Isuru Udana, Akila Dananjaya, Niroshan Dickwella, Dushmantha Chameera, Ramesh Mendis, Asitha Fernando, Lakshan Sandakan, Chamika Karunaratne, Binura Fernando, Shiran Fernando

පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය :

Tamim Iqbal Khan (C), Liton Kumar Das, Shakib al Hasan, Mushfiqur Rahim, Md Mithun, Mahmudullah, Afif Hossain, Mehidy Hasan Miraz, Md Shaif Uddin, Taskin Ahmed, Mustafizur Rahman, Soumya Sarkar, Mosaddek Hossain Saikat, Mahedi Hasan, Shoriful Islam.

Leave a comment