Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට අයි.සී.සී ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා(14) ඇන්ටිගුවාහි පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත කාලය තුළ පන්දුවාර දෙකක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ රිචී රිචර්ඩ්සන් පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සුපර් ලීගය යටතේ මෙතෙක් කිසිදු ප්‍රසාද ලකුණක් වාර්තා කර නොමැති පසුබිමකයි මෙලෙස ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි කර ගැනීමට සිදුව ඇත්තේ.

නායක දිමුත් කරුණාරත්න වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment