Ultimate magazine theme for WordPress.

ධර්මදාස උප සභාපතිධූරයට පත් කිරීමට විශේෂ මහා සභා රැස්වීමක දී අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට අද(31) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේ දී ක්‍රීඩා සමාජවල සාමාජිකයින්ගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පත් කිරීමට අදාළ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පසුගිය ජූලි 29 වනදා එතෙක් ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධූරයක කටයුතු කළ කේ. මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තා.

ඒ අනුව පසුව හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවමින් මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ විධිවිධානවලට ප්‍රාකාරව පුරප්පාඩු වූ තනතුර සඳහා උප සභාපතිවරයකු පත්කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුවයි ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයෙකු ලෙස පත් කර ගැණුනේ.

මතිවානන් මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතිකව ගනු ලැබූ තීරණයකින් පසුව බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ.

කෙසේ වෙතත්, හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැඳිසිටිය නොහැකි බව ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධූරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණා.

Leave a comment