Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රධානීන් 6 දෙනෙකු ඉල්ලා අස් වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපති eresford Williams ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුට අමතරව තවත් මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු ද ඉල්ලා අස් වීමට පියවර ගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, සෙසු පිරිස සාමාජික කවුන්සලයෙන් ඉවත් වී නැහැ.

නමුත්, වැඩබලන සභාපති eresford Williams මණ්ඩලයෙන් මෙන්ම සාමාජික කවුන්සලයෙන් ද ඉල්ලා අස් වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට මැදිහත් වීමට තමා අදහස් කරන බවට එරට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 14 වනදා වන විට ජගත් ක්‍රිකට් කවුන්සලයට දැනුම් දී තිබුණා.

ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිදු කර ඇති විෂමාචාර ක්‍රියා හේතුවෙන් මෙලෙස එහි කටයුතුවලට මැදිහත් වන බවයි එරට ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ.

අනතුරුව පාලන ප්‍රතිසංස්කරණ සහ රජය ඔවුන්ගේ කටයුතු සදහා මැදිහත් නොවිය යුත්තේ ඇයි ද යන්න පිළිබද ඔක්තෝබර් 27 වන විට ලිඛිතව තමාට දැනුම් දෙන ලෙසට එරට ක්‍රීඩා අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන බළධාරීන්ට දැනුම් දී තිබූ පසුබිමක නිළධාරීන් 6 දෙනෙකු මෙලෙස ධූරවලින් ඉල්ලා අස් වී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ඉදිරියේ දී දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති රීති ප්‍රකාරව කිසිදු සාමාජික රටක ක්‍රිකට් ආයතනවලට රජයේ මැදිහත් වීමක් සිදු නොවිය යුතු අතර, එම ආයතන ස්වාධීනව ක්‍රියා කළ යුතුයි.

එසේ නොවන්නේ නම් අදාළ රටට එරෙහිව ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමේ බලය අයි.සී.සීය සතු වනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ස්වාධීන විමර්ශනයක් සිදු කෙරුණු අතර, එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රධාන විධායක නිළධාරිවරයා ද පසුගිය අගෝස්තු මාසයේ දී ධූරයෙන් පහ කෙරුණා.

ඒ, සිදු කළ බව කියන විෂමාචාර ක්‍රියා හේතුවෙන්.

අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් එහි පාලනය සියතට ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය හා ඔලිම්පික් කමිටුව (SASCOC) පසුගිය සැප්තැම්බර් 10 වැනිදා තීරණය කළ‍ේ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට සියලු පරිපාලන කටයුතුවලින් ඉවත් වන ලෙසට ලිඛිතව දන්වමින්.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රිකට් බළධාරීන් ඊට එකගතාවය පල කර තිබුණේ නැහැ.

Leave a comment