Ultimate magazine theme for WordPress.

ඉසුරු උදාන වොරියර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි

මෙවර අබුඩාබි ටී ටෙන් (Abu Dhabi T10) ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රීස් ටොප්ලි වෙනුවටයි ඉසුරු උදානව වොරියර්ස් කණ්ඩායමට නම් කර ඇත්තේ.

ඒ අනුව මෙවර අබුඩාබි ටී ටෙන් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සැප්තැම්බර් 26 වැනිදා පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

පළමුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව සිය කණ්ඩායම සදහා තෝරා ගැනීමට කටයුතු කළේ සම්ප් ආර්මි (Samp Army) කණ්ඩායමයි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී තෝරා ගැණුනු දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර. ඔහුව නොදර්න් වොරියර්ස් කණ්ඩායම විසිනුයි සිය කණ්ඩායම වෙත තෝරා ගනු ලැබුවේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් සමග ගිවිසුම්ගත වී තිබුණා.

ඒ අනුව සුපිරි දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නොදර්න් වොරියර්ස් කණ්ඩායම සදහා ද, යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම චෙන්නායි බ්‍රේව් කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනා සමගම ගිවිසුම්ගතව තිබෙනවා.

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment