චාමික කරුණාරත්නත් අබුඩාබි T10 තරගාවලියට තෝරා ගැනේ
මෙවර අබුඩාබි ටී ටෙන් (Abu Dhabi T10) ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(26) රාත්රියේ ආරම්භ වුණා.
ක්රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ශ්රී ලංකාවෙන් තෝරා ගැණුනු පළමු ක්රීඩකයා බවට පත් වුණේ තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්නයි.
ඔහුව සම්ප් ආර්මි (Samp Army) කණ්ඩායම විසිනුයි සිය කණ්ඩායම වෙත තෝරා ගනු ලැබුවේ.
ක්රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර ශ්රී ලංකා ක්රීඩකයින් 5 දෙනෙකු මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් සමග ගිවිසුම්ගත වී තිබුණා.
ඒ අනුව සුපිරි දග පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක වනිදු හසරංග නොදර්න් වොරියර්ස් කණ්ඩායම සදහා ද, යොවුන් වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සදහා ද ක්රීඩා කිරීමට නියමිතයි.
එමෙන්ම චෙන්නායි බ්රේව් කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ යන ශ්රී ලංකා ක්රීඩකයින් තිදෙනා සමගම ගිවිසුම්ගතව තිබෙනවා.
මෙවර අබුඩාබි T10 ක්රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.