ශකිබ්ගේ පන්දු යැවීමේ තහනම දැඩි වෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට වෙනත් රටවල දේශීය තරගවල මෙන්ම ජාත්‍යන්තර තරගවල ද පන්දු යැවීම තහනම් වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ, Loughborough විශ්ව විද්‍යාලයේදී සිදු කෙරුණු ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයෙන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව හදුනා ගැනීම හේතුවෙන් ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවීමට එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමගයි.
නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් සඳහා වන ICC රෙගුලාසිවල 11.3 වගන්තියට අනුව ජාතික ක්‍රිකට් ආයතනයක් විසින් පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බැවින් ක්‍රීඩකයෙකුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවූ විට එම තහනම ජාත්‍යන්තර තරග සදහා හා වෙනත් රටවල දේශීය තරග සදහා ද බලපැවැත්වෙනවා.
කෙසේ වෙතත්, ශකිබ්ට පිතිකරුවෙකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කිරීමට මින් බලපෑමක් එල්ල වන්නේ නැහැ. ඔහු ඉදිරියේදී සිය ඉරියව්ව නිවැරැදි බව සනාථ කිරීම සදහා යළිත් පරීක්ෂණයක් සදහා මුහුණ දීමට නියමිත අතර, ඉන් සමත් වුවහොත් ශකිබ්ට යළි පන්දු යැවීමේ අවස්ථාව උදා වනවා.
2024 එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ ශකිබ් සරේ කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බර් මාසයේ දී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, එම තරගයේදීයි විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා කර තිබුණේ. එය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවයි.
සමර්සෙට් කණ්ඩායම සමග පැවැති තරගයේ දී 37 හැවිරිදි ශකිබ් අල් හසාන් කඩුලු 9ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා. එම තරගයේ දී ඔහු පන්දුවාර 63 කට වඩා වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යොමු කළා.
දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටින ශකිබ් මේ දක්වා ජාත්‍යන්තර තරග 447 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 712 ක්.