Ultimate magazine theme for WordPress.

Snicko තාක්ෂණය නිසා අළුබදුන ගිනියම් වෙයි – පිට පිට දින දෙකකදී සිද්ධි තුනක් ක්‍රිකට් පිටිය කළඹයි (Video සහිතයි)

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී පිට පිට දෙවැනි දිනටත් අද Snicko තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගත්තා.

ඒ, එංගලන්ත පිතිකරු ජෙමී ස්මිත් එක් අවස්ථාවක නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කිරීමත්, ඊට පන්දුවාර දෙකකට පසුව ඔහුව යළි දැවී ගිය පිතිකරුවෙකු ලෙසත් විනිසුරුවන් විසින් නම් කිරීමේදී Snicko තාක්ෂණය දෝෂ සහිතව ක්‍රියාත්මක වන බවක් දර්ශනය වීමත් සමගයි.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නිරතව සිටි ජෙමී ස්මිත් ඉනිමේ 44 වැනි පන්දුවාරයේදී පැට් කමින්ස්ගේ කෙටි පන්දුවක් හමුවේ සම්පූර්ණයෙන් පරාජයට පත් වූ අතර, පන්දුව අත් ආවරණ අසළින් ගමන් කරමින් හිස් ආවරණයේ වැදී පසුව ස්ලිප් කලාපය වෙත ඇදී ගියා.

එහිදී උඩ පන්දුවක් ලෙස එය උස්මාන් කවාජා රැක ගත් නමුත්, විනිසුරුවන් එය නිසි අයුරින් රැක ගත් උඩ පන්දුවක් දැයි සෙවීමට එය තෙවන විනිසුරුට යොමු කළා.

කෙසේ වෙතත්, එහිදී පන්දුව අත් ආවරණ අසළින්ම ඇදී යන ආකාරයක් පුනරූපනවලදී දක්නට ලැබුණත් Snicko තාක්ෂණය යොදා සිදු කළ පරීක්ෂාවේදී පන්දුව අත් ආවරණවල දැවටෙන ආකාරයක් අනාවරණය නොවූ බැවින් උඩ පන්දුවේ නිවැරැදිභාවය පිළිබද විමසා බැලීමට තෙවන විනිසුරුට අවශ්‍ය වූයේ නැහැ. ඒ අනුව පිතිකරු නොදැවුණු අයෙකු ලෙසයි තෙවන විනිසුරු තීරණය කළේ.

ඊට ඔස්ට්‍රේලියානුවන් දැඩි විරෝධයක් පල කළ අතර, Snicko තාක්ෂණය අහෝසි කළ යුතු බවට මිචෙල් ස්ටක් ප්‍රසිද්ධියේ කෑගසන ආකාරය ද දැක ගත හැකි වුණා.

මෙම සිද්ධියෙන් පන්දුවාර දෙකකට පසුව කමින්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී ජෙමී ස්මිත් දැවී ගියා.

එම අවස්ථාව ද තෙවන විනිසුරුට යොමු කෙරුණු අතර, එහිදී පුනරූපන නැරඹීමේදී දැක ගත හැකි වූයේ පන්දුව හා පිත්ත අතර පරතරයක් පවතින බවයි. කෙසේ වෙතත්, Snicko තාක්ෂණය ඔස්සේ යම් ශබ්දයක් ඇති වන ආකාරය පෙන්නුම් කළ බැවින් ස්මිත් දැවී ගිය අයෙකු ලෙසයි නම් කෙරුණේ. එම ශබ්ද තරංගය ද දර්ශනය වූයේ පන්දුව හා පිත්ත අතර දුර ඉතා ආසන්නයටම පැමිණි රූපරාමුවේදී නොව ඊළග රූපරාමුවේදීයි. එම තීරණයට ජෙමී ස්මිත් හා බෙන් ස්ටොක්ස් දැඩි අප්‍රසාදයක් දක්වන ආකාරය ද දැක ගත හැකි වුණා.

ඊයේ දිනයේදී ඇලෙක්ස් කෙරී ලකුණු 72 ක් ලබා සිටියදී ද මෙවැනිම ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර, එහිදී Snicko තාක්ෂණයෙන් වූ වැරැදීම ප්‍රයෝජනයට ගනිමින් කෙරී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත් වුණා.

කෙරී කඩුලු රකින්නාට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරන්නැයි එංගලන්ත ක්‍රීඩකයින් සිදු කළ ඉල්ලීම පිටියේ විනිසුරු ප්‍රතික්ෂේප කළ අතර, අනතුරුව එංගලන්ත ක්‍රීඩකයින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එය අභියෝගයට ලක් කළා.

නමුත්, තෙවන විනිසුරු ද ඔහු නොදැවුණු අයෙකු ලෙස නම් කළේ Snicko තාක්ෂණය ඔස්සේ පන්දුව පිත්තේ වදින ආකාරයක් පෙන්නුම් නොකළ බැවින්. නමුත්, පන්දුව පිත්ත ළගට පැමිණීමට රූප රාමු කිහිපයකට පෙර යම් ශබ්දයක් Snicko තාක්ෂණය ඔස්සේ ප්‍රදර්ශනය කළා.

අවසානයේ Snicko තාක්ෂණයේදී සිදු වූ වරදක් හේතුවෙන් මෙම අවස්ථාවේදී පිතිකරු නොදැවුණු අයෙකු ලෙස නම් කෙරුණු බවට පිළිගැණුනු අතර, ඒ හේතුවෙන් පසුව එංගලන්තයට අහිමි වූ විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවක් (review) යළි ලබා දීමට අද පියවර ගත්තා.