ශූරයින්ගේ කුසලාන අවුල ගැන මූලික එකගතාවයකට එළඹෙයි – තුන්කොන් තරගාවලි කොන්දේසියට මොකද වෙන්නේ?

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර පැන නැගී තිබූ අර්බුදකාරී තත්ත්වය මේ වන විට යම්තාක් දුරකට සමථයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය හා පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශූරයින්ගේ කුසලානයට දෙමුහුන් ක්‍රමවේදය යොදා ගැනීම සදහා පාකිස්තානය ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසියට ඉන්දියාව අවසානයේ එකගතාවය පල කර ඇති බවයි.
ඒ අනුව ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේදී හා වෙනත් රටකදී (බොහෝ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී) පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග එම රටේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ආකාරයෙන්ම 2027 වසර දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන් සදහා ද පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ සංචාරය නොකරන අතර, පාකිස්තානය ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමට නියමිතයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් සිය රට තුළ ගැටලුවක් නොමැති බැවින් මෙම කොන්දේසිය සදහා ඉන්දියාව එකගතාවය පල නොකළ බව මීට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී රැස්වීමක් ද ඉන්දියාවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම මත කල් දැමීමට සිදු වුණා.
නමුත්, අයි.සී.සී නව සභාපති ජේ ශාහ් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi අතර ඩුබායිහි අයි.සී.සී මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවලින් පසුව පාකිස්තානයේ මෙම කොන්දේසිය සදහා මූලික එකගතාවයකට එළඹ ඇති බව සදහන්. අයි.සී.සී අධ්යක්ෂ මණ්ඩලය අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා හෙට(7) දිනයේදී අයි.සී.සී අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.
2027 වසර දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන් සදහා ද දෙමුහුන් ක්‍රමවේදය යොදා ගන්නා බවට ලිඛිත සහතිකයක් අයි.සී.සීයෙන් තමන්ට අවශ්‍ය බව පාකිස්තානය පෙන්වා දෙනවා. 2025 කාන්තා එක්දින ලෝක කුසලානය හා 2026 T20 ලෝක කුසලානය සදහා ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතයි. 2026 ලෝක කුසලානයේ සම සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද කටයුතු කරන බැවින් පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරනු ඇති. මීට අමතරව 2025 ආසියානු කුසලානය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේදීයි.
මේ අතර, පාකිස්තානය ඉදිරිපත් කර තිබූ තවත් කොන්දේසියක් වූයේ ඉන්දියාව සිය රටට නොපැමිණීම හේතුවෙන් ඇති වන අලාභය පියවා ගැනීම සදහා ඉන්දියාව, පාකිස්තානය හා තවත් රටක් ක්‍රීඩා කරන තුන්කොන් තරගාවලියක් විදෙස් රටකදී පැවැත්වීට අවශ්‍ය බවයි. මේ සදහා ඉන්දියාව තවමත් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් වාර්තා වන්නේ නැහැ.