Ultimate magazine theme for WordPress.

Watch : ස්මිත් එක්ක බාබර්ට යකා නගී ; පිටිය මැද උණුසුම් වෙයි ; දුවන්න බෑ කියූ ස්මිත් පිට පිට හයේ පහර 4 ක් ගහයි

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේදී සිඩ්නි සික්සර්ස් ආරම්භක පිතිකරු බාබර් අසාම් දැඩි ආවේගශීලීව කටයුතු කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

සිඩ්නිහීදී පැවැති තරගයේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ අතර, පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සික්සර්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 17.2 ක් අවසානයේදීයි. ඉනිම ආරම්භ කළේ බාබර් අසාම් සමගින් ස්ටීවන් ස්මිත්.

ඉනිමේ 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව ක්‍රිස් ග්‍රීන් විසින් බාබර්ට යොමු කළ අතර, බාබර් එම පන්දුව long-on කලාපයට යොමු කරමින් එක් ලකුණක් කරා පැති මාර කර ගැනීමට උත්සාහ කළා.

නමුත්, අනෙක් අන්තයේ රැදී සිටි ස්මිත් එය ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනෙකුගේ මවිතයට කරුණක් වුණා. ඊළග පන්දුවාරයේ පළමු පන්දුවට ඔහුට මුහුණ දීමට අවශ්‍ය බැවින් ස්මිත් එම තීරණය ගත්තා.

එම පන්දුවාරයේ සිට පිතිකරණ පවර්ප්ලේ අවස්ථාවක් වන ‘Power Surge’ අවස්ථාව (පන්දු රකින්නන් දෙදෙනෙකු පමණක් යාර 30 සීමාවෙන් පිටත රදවන පන්දුවාර 2) ලබා ගැනීමට සික්සර්ස් කණ්ඩායම තීරණය කිරීම ස්මිත් එම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වුණා.

එම අවස්ථාවේදී පන්දු 38 කින් ලකුණු 47 ක් ලබා සිටි බාබර්, පන්දු 28 කින් ලකුණු 58 ක් ලබා සිටි ස්මිත් සමග යම් වචන හුවමාරුවක නිරත වූ අතර, ස්මිත් ගත් තීරණයට ඔහු දැඩි ලෙස විරෝධය පල කරන ආකාරයක් මෙන්ම කෝපයෙන් පසුවන ආකාරයක් දැක ගත හැකි වුණා. (දර්ශන පහතින්)

කෙසේ වෙතත්, ස්මිත් ගත් එම තීරණය සාධාරණ යැයි තහවුරු වූයේ ඉන් අනතුරුව යොමු කෙරුණු පන්දු හතරටම ස්මිත් පිට පිට හයේ පහර 4 ක් එල්ල කිරීමට සමත් වීම හේතුවෙනුයි. (දර්ශන පහතින්)

එමෙන්ම මෙහිදී සිදු වූ අනෙක් විශේෂ කරුණ වූයේ බාබර් ඊළගට මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමයි. අනතුරුව ඔහු දැඩි අවේගශීලීව පිටියෙන් ඉවත්ව ගියේ හතරේ සීමාවට ද සිය පිත්තෙන් දරුණු පහරක් එල්ල කරමින්.

ස්මිත් මෙම තරගයේදී පන්දු 42 කින් ලකුණු 100 ක් ලබා ගත්තේ හයේ පහර 9ක් හා හතරේ පහර 5 ක් සමගින්.

වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –