Ultimate magazine theme for WordPress.

CT 2025 : “සැම විටම අපෙන් හොද දේවල් බලාපොරොත්තුවෙන්න එපා”, ඉන්දියාවට පාකිස්තානයෙන් පිළිතුරු

2025 වසරේ පෙබරවාරි – මාර්තු මාසවලදී පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානය වෙත පිටත් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය අද(8) වාර්තා කර තිබෙනවා.

ඒ වෙනුවට සිය කණ්ඩායමට ඩුබායිහී දී තරග වැදීමට අවශ්‍ය බවටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ.

අදාළ තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මෙලෙස ඉන්දීය කණ්ඩායම ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා එරට අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වන Mohsin Naqvi මාධ්‍ය වෙත අද සදහන් කර ඇත්තේ එවැනි තීරණයක් සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් මෙතෙක් සිය ආයතනයට නිල වශයෙන් දන්වා නොමැති බවයි.

එමෙන්ම පාකිස්තානය විසින් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ තරග රටවල් දෙකකදී පැවැත්වීමට සූදානම් නොමැති බවත්, සම්පූර්ණ තරගාවලිය සිය රටේදීම පවත්වන බවත් සභාපතිවරයා යළිත් අවධාරණය කර සිටිනවා.

පාකිස්තානය පසුගිය වසරවලදී යහපත් ප්‍රතිචාර දක්වා සිටි නමුත්, සැමවිටම පාකිස්තානයෙන් එවැනි යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු නොවන ලෙස ද ඔහු ඉන්දියාවට දන්වා සිටියා.

“අපිට ඉන්දියාවෙන් ලිපියක් ලැබුණොත්, මට මගේ රජයට එය දන්වා ඔවුන්ගේ තීරණවලට අවනත වෙන්න සිදු වනවා. පාකිස්තානය අතීතයේ දී ඉන්දියාවට විශිෂ්ට ප්‍රතිචාර දැක්වුවා. අපි පැහැදිලිවම කියන්න කැමතියි සෑම අවස්ථාවකදීම ඉන්දියාව අපෙන් එවැනි මිත්‍රශීලී ප්‍රතිචාර බලාපොරොත්තු නොවිය යුතුයි [ඔවුන් පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නම්].” යනුවෙන් සභාපතිවරයා සදහන් කළා.

“ශූරයින්ගේ කුසලානය සඳහා ඔවුන් පාකිස්තානයට නොපැමිණෙන්නේ නම්, පාකිස්තානය ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වෙන ඕනෑම තරගාවලියක් සඳහා සංචාරය කරන්නේද යන්න පිළිබද රජය තීරණය කරාවි. පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඒක තීරණය කරන්නේ නැහැ.”

2008 වසරෙන් පසුව මේ දක්වා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරතව නැහැ. කෙසේ වෙතත්, පාකිස්තානය 2023 වසරේ ඉන්දියාවේ දී පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වුණා.