Ultimate magazine theme for WordPress.

ICC ශූරයින්ගේ කුසලානයේ අර්බුදය විසදෙයි – අයි.සී.සීය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පහදයි

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මාස කිහිපයක සිට පැවැති අර්බුදකාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර ගැනීමට සියලු පාර්ශවවලට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද(19) පස්වරුවේ නිවේදනය කළේ 2027 වසර දක්වා ඉන්දියාවේදී හා පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන්හීදී ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග වෙනත් රටකදී පැවැත්වීමට අදාළ යෝජනාවට අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අද හිමි වූ බවයි. ඒ අනුව එම සියලු තරගාවලි සදහා දෙමුහුන් ක්‍රමවේදය යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරන අතර, ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හා ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරන්නේ නැහැ.

2026 T20 ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව ද සම සත්කාරකත්වය දරන බැවින් එම තරගාවලියේදී පැවැත්වෙන පාකිස්තානය ක්‍රීඩා කරන තරග (මූලික වටය, අවසන් පූර්ව හා අවසන් මහා තරගය ද ඇතුළුව) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේදී හා පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අනෙකුත් තරගාවලියන්හීදී ඉන්දු-පාකිස්තාන තරග පැවැත්වෙන රට එම තරගාවලියේ සත්කාරක රට (ඉන්දියාව හෝ පාකිස්තානය) විසින් තීරණය කරන අතර, ඒ සදහා අයි.සී.සී අනුමැතිය ද අවශ්‍ය වනවා.

ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දු-පාකිස්තාන තරග පැවැත්වීමට යොදා ගන්නා අනෙක් රට මෙතෙක් නිවේදනය කර නොමැති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝ ශ්‍රී ලංකාව ඒ සදහා යොදා ගැනීමටයි පාකිස්තානයේ අවධානය යොමුව ඇත්තේ.

පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉදිරි දින කිහිපය ඇතුළත නිවේදනය කරන බව ද අයි.සී.සීය සදහන් කළා.

මේ අතර, 2028 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ද පාකිස්තානයට පිරිනැමීමට තීරණය කර ඇති අතර, එම තරගාවලිය සදහා ද මෙම දෙමුහුන් ක්‍රමවේදයම යොදා ගැනීමට නියමිතයි.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා සහභාගීවීමට සිය කණ්ඩායම එරටට පිටත්ව නොයන බව ඉන්දියාව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත බවක් හට ගත්තේ.

පාකිස්තානය පළමුව දෙමුහුන් ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළ නමුත්, පසුව ඊට එකග වූයේ එය රටවල් දෙකටම සමානාත්මතාවයක් ඇති වන පරිදි සිදු කිරීමට අවශ්‍ය බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින්.