Ultimate magazine theme for WordPress.

විනය කැඩූ සිරාජ්ට හා හෙඩ්ට රංජන් මඩුගල්ල දඩුවම් පනවයි

ඉන්දු-ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරුණු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ්ට හා ඕස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ්ට අයි.සී.සීය විසින් දඩුවම් නියම කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේදී ලකුණු 140 ක් ලබා සිටි ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමෙන් පසුව මොහමඩ් සිරාජ් විසින් උණුසුම් වචන හුවමාරුවක් සිදු කරමින් ක්‍රීඩාගාරය දෙසට පිටව යන ලෙස පිතිකරුට සංඥා කිරීමේ සිද්ධිය හේතුවෙන්. (දර්ශන පහතින්)

ඒ අනුව සිරාජ් විසින් අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය ( “using language, actions or gestures which disparage or which could provoke an aggressive reaction from a batter upon dismissal.” ) උල්ලංඝනය කළ බවට අනාවරණය වීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරක රංජන් මඩුගල්ල මහතා තීරණය කර ඇත්තේ.

එම දඩුවමට අමතරව සිරාජ්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, ට්‍රැවිස් හෙඩ් විසින් අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.13 වගන්තිය (“abuse of a player, player support personnel, umpire or match referee during an international match.”) උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට ද දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් අයි.සී.සීය නිවේදනය කළා.

ක්‍රීඩකයින් දෙදෙනා විසින්ම සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන්නේ නැහැ.

අදාළ සිද්ධිය පිළිබද අදහස් දක්වමින් ට්‍රැවිස් හෙඩ් සදහන් කර සිටියේ තම කඩුල්ල දවා ගැනීමෙන් පසුව තමාට පිටව යන ලෙසට සංඥා කරමින් ආවේගශීලී අයුරින් මොහමඩ් සිරාජ් කඩුලු සැමරුම සිදු කළ ආකාරය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවයි.

“හොඳින් පන්දු යැව්වා කියලා මම කිව්වා, නමුත් ඔහු වෙනත් ආකාරයකින් එය තේරුම් ගත්තේ.” යනුවෙන් ට්‍රැවිස් හෙඩ් සදහන් කළා. “මට දැනෙනවා මම ක්‍රීඩා කරපු ආකාරය අනුව මම මීට වඩා හොද ප්‍රතිචාරයකට කැමතියි කියලා. තරගයේ පැවැති තත්ත්වය හා ඉදිරිය ගැන සලකා බැලුවාම මට ඒ ප්‍රතිචාරය ගැන පුදුම හිතුණා.”

නමුත්, ඊට පිළිතුරු දෙමින් මොහමඩ් සිරාජ් පසුව මාධ්‍ය වෙත සදහන් කළේ ට්‍රැටිස් හෙඩ් මාධ්‍ය වෙත පවසා තිබූ කරුණු අසත්‍ය බවයි. තමා නොව පළමුව ට්‍රැවිස් හෙඩ් විසින් මෙම ගැටුම ආරම්භ කළ බවත්, “හොඳින් පන්දු යැව්වා” යනුවෙන් ඔහු සදහන් නොකළ බවත් සිරාජ් පෙන්වා දුන්නා.