Ultimate magazine theme for WordPress.

කුමාර් සංගක්කාරට යළිත් IPL පිටියෙන් ප්‍රබල වගකීමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් (RR) කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ ප්‍රධාන භූමිකාවක් සඳහා නැවත පැමිණීමට නියමිතව ඇති බව Cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ, එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරින් ඉවත් වීමත් සමගයි.

2021 වසරේ සිට රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස සංගක්කාර කටයුතු කළ අතර, ඔහුගේ අධීක්ෂණය යටතේ සංජු සැම්සන් නායකත්වය දැරූ රාජස්ථාන් කණ්ඩායම තරග වාර හතරකින් දෙවරක් අවසන් වටයට සුදුසුකම් ලැබුවා.

2008 වසරේදී අයි.පී.එල් ශූරතාවය ජය ගැනීමෙන් පසු පළමු වතාවට RR කණ්ඩායම 2022 වසරේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ නමුත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හමුවේ ඔවුන් පරාජයට පත් වුණා.

2023 වසරේදී පස්වන ස්ථානයට පත් වූ රාජස්ථානය 2024 තරග වාරයේදීදී යළි අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර, Qualifier 2 තරගයේ දී ඔවුන් පරාජය වුණා.

2012 සහ 2013 වසරේදී RR කණ්ඩායමේ නායකයා ලෙසත්, පසුව 2014 සහ 2015 දී උපදේශක ලෙසත් කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ්, 2024 T20 ලෝක කුසලානය ජය ගත් ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පසුබිමකයි ඔහුව RR කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2025 තරග වාරය වෙනුවෙන් පත් කෙරුණේ.

කෙසේ වෙතත්, RR කණ්ඩායම 2025 තරග වාරයේදී තරග 14 න් ජය ගත්තේ තරග 4 ක් පමණයි.

ඩ්‍රාවිඩ් වසර කිහිපයක ගිවිසුමක් එම කණ්ඩායම සමග අත්සන් කර තිබුණ ද, ඔහු මෑතකදී ඉන් ඉවත් වුණා.

මේ අතර, 2025 තරග වාරයෙන් පසු නායක සංජු සැම්සන්, තමන්ව කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබූ අතර, ඒ අනුව සංගක්කාරගේ පළමු ප්‍රමුඛතාවය වනු ඇත්තේ RR කණ්ඩායමේ නායකත්වය පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමයි.